පුපුරා යන දියර පොහොර
Thursday, 09 December 2021 - 10:53 | Views - 339

අලි මදිවට කොටි කීවාක් මෙන් දිවයින පුරා තැන් වලින් ගෑස් පිපිරීම් දිනපතා වාර්තා වෙද්දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාබනික වගා සංකල්පයට අනුව මෙරට වගාවන් සඳහා යොදා ගැනීමට ඉන්දියාවෙන් ආනයනය කළ කාබනික දියර පොහොර කෑන් පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වනවා.
අපට මේ වාර්තාව ලැබෙන්නේ අනුරාධපුර හොරොව්පොතාන ප්‍රදේශයෙන්.
මෙරට වගාවන් සඳහා රසායනික පොහොර යෙදීම සම්පුර්ණයෙන්ම තහනම් කර කාබනික පොහොර යෙදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජනධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් අනුවයි.
මේ යටතේ වගාවන්ට යෙදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද දියර පොහොර අඩංගු කෑන් මේ වන විට පුපුරා එම දියර පොහොර අපතේ යන බව බවයි හොරොව්පොතාන ප්‍රදේශ්යේ ගොවි ජනතාව චෝදනා කරන්නේ.
මෙම කන්නයේ වගාවන් ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් දෙසීයක් පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පොතාන ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසනවා.
එමෙන්ම ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිය ගොවි සංවිධානයට ලබා දුන් කාබනික දියර පොහොර තමන් භාවිත කරන පොහොර ඉසින යන්ත්‍ර හරහා ඉසීමට නොහැකි බවයි.
එම කාබනික දියර පොහොරවල ඇති කුඩා බිඳිති හේතුවෙන් සිය පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන අතර ඒවා යන්ත්‍ර තුල සිරවීමෙන් පසු නිසි ආකාරයට විසිරණය නොවන බවටත් ඔවුන් චෝදනා කරනවා
ඔවුන් නගන තවත් එක් චෝදනාවක් වන්නේ මෙම දියර පොහොර වගාවන්ට යෙදීමේ දී සමේ ආසාදන හට ගන්නා බවයි.
එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවා මෙම පොහොර සම්බන්ධයෙන් තවමත් නිසි අදහසක් නැති බව ද ඔවුන් පවසනවා.
Share This Article