ගෑස් පිපිරීම්වලට ප්‍රධාන හේතුව ප්‍රමිතියෙන් තොර උපාංග - ජනපති කමිටුව කියයි
Tuesday, 07 December 2021 - 9:48 | Views - 1,104

අනාරක්ෂිත ක්‍රම ඔස්සේ සිලින්ඩරවල ගෑස් කාන්දු වීම් තිබේදැයි පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීම් පිළිබදව විමර්ශනය කිරීම හා ඒ පිළිබදව විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව පවසනවා.
මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ, මෙම කමිටුවේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
මේ වනවිට දිවයින පුරා වාර්තා වන ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම්වල සැලකිය යුතු අඩුවක් නිරීක්ෂණය කර ඇති බව අදාළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ ප්‍රකාශ කළා.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරා ජනතාව ඒ සම්බන්ධයෙන් දැක් වූ දැඩි උනන්දුව මත විවිධ ක්‍රමවේද ඔස්සේ සිලින්ඩර්වල තත්ත්වය පරීක්ෂා කිරීමට යාමේදී ගෑස් කාන්දුවීම නිසා ඒ පිළිබදව පැමිණිලි කර ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
කෙසේ වෙතත්, ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම මීට ප්‍රධාන ගැටලුවක් බවට කමිටුව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට ගෑස් සමාගම් පියවර ගෙන තිබුණා.
ඒ අනුව ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම් ඊයේ සිට යළි වෙළෙදපොළට නිකුත් කිරීමට පියවර ගැනුණේ නව ගෑස් සිලින්ඩර් හඳුනා ගැනීම සඳහා පොලිතින් මුද්‍රාවේ වර්ණ ද වෙනස් කරමින්.
මේ තුළින් මින් ඉදිරියට ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වනු ඇති.
පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීම්වලට පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ යම් වෙනස්වීමක් බලපෑවේ ද යන කරුණ සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතින බවයි ජනාධිපති කමිටුව සඳහන් කළේ.
බාල හා නියමිත කාලය ඉකුත් වූ රෙගියුලේටර් ඇතුළු උපාංග හා දිරාපත් වූ උඳුන් භාවිතය පිළිබදව ද ජනතාවගේ දැඩි අවධානය යළි යොමු කරවන බව ජනාධිපති කමිටුවේ සභාපතිවරයා කියා සිටියා.
පසුගිය දිනවල ඇති වූ ගෑස් ආශ්‍රිත සිදුවීම් රැසකට මෙලෙස ප්‍රමිතියෙන් තොර උපාංග භාවිත කිරීම හේතු වී ඇති බව ජනපති කමිටුවේ අදහසයි.
දෛනිකව වාර්තා වන සිදුවීම් සංඛ්‍යාව දැන් සැලකිය යුතු අන්දමින් පහළ බැසීමට හේතු වී ඇත්තේ ද දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ජනතාව නිසි ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිත කිරීමට පෙළඹීම බව ද කමිටුව නිකුත් කළ නිවේදනයේ සදහන්.
මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල උපාංග මිල දී ගැනීමටත් විශේෂයෙන් ගෑස් උඳුන් මිල දී ගැනීමේ දී පිළිගත් වගකීමක් සහිත ආයතනවලින් ගුණාත්මකභාවයෙන් යුතු ආරක්ෂිත ගෑස් උඳුන් මිල දී ගැනීමට යොමු වන ලෙසත් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Share This Article