ලිට්රෝ - ලාෆ්ස් සභාපතිවරුන්ගෙන් ප්රකාශ ගැනීමට සැරසෙයි
Sunday, 05 December 2021 - 9:28 | Views - 353

ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්ගෙන් ඉදිරි සතියේ ප්රකාශ ලබා ගන්නා බව ජනාධිපතිවරයා පත් කළ ගෑස් අනතුරු පිළිබඳ විශේෂඥ කමිටුව පවසනවා.
එහි සභාපති ශාන්ත වල්පලගේ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ, ඔවුන් කමිටුව හමුවට කැඳවා එලෙස ප්රකාශ ලබා ගන්නා බවයි.
එමෙන්ම ඉදිරි දින 2 තුළ මූලික විමර්ශන පිළිබඳව කමිටුව මගින් ප්රකාශයක් නිකුත් කරන බව ද ඔහු සඳහන් කළා.
ගෑස් අනතුරු පිළිබඳ කමිටුවේ විමර්ශනයට අදාළව මේ වන විට ලිට්රෝ සමාගමේ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.
කමිටුව මගින් බියගම - මාබිම පිහිටි ලාෆ් ගෑස් සමාගමේ ගබඩා සංකීර්ණය තුළ ස්ථානීය පරීක්ෂණ ඊයේ (04) සිදු කිරීමට නියමිතව තිබුණත් ඊයේ එම කටයුතු සිදු කෙරුණේ නැහැ.
ඒ පිළිබඳව අප කළ විමසීමක දී කමිටු සභාපති ශාන්ත වල්පලගේ කියා සිටියේ, ලාෆ් සමාගමේ ගෑස් නිෂ්පාදන කටයුතු අඩු ධාරිතාවයක පැවතීම හේතුවෙන් එහි ස්ථානීය පරීක්ෂණ කල් දැමීමට තීරණය කළ බවයි.
ආන්දෝලනාත්මක ලෙස මෑතකදී ගෑස් කාන්දුවීමෙන් සිදුවන අනතුරු ඉහළ යාමත් සමග ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව පත් කළේ, පසුගිය 30 වනදායි.
ගෑස් අනතුරුවලට හේතුව සහ ඒවා වළක්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරමින් සති 2ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත්තේ.
මේ අතර අද (05) සිට ගෘහස්ත ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ ගෑස් සාම්පල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයට යොමු කර ලබා ගත් වාර්තාවන්ට අනුව තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් පදනම් කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි.
Share This Article