ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට ඇමතුමක්
Sunday, 05 December 2021 - 8:21 | Views - 1,872
ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා ඝාතනය කළ මිලේච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබාදෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව සඳහන් කර ඇති බවයි.

එසේම, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසි විටෙකත් පළුදු වීමට ඉඩ නොතබන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සැකකරුවන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස් සොයා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්වීටර් පණිවුඩයක්ද නිකුත් කර තිබූ අතර, එහි දැක්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමා මේ පිළිබඳව දැනුම් දුන් බවයි.

මේ අතර, සිද්ධියෙන් මියගිය ශ්‍රී ලාංකිකයාගේ සිරුර හෙට (06) දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ඊයේ (04) ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් රජයේ වියදමින් අදාළ සිරුර දිවයිනට රැගෙන එනු ඇති.

ප්‍රියන්ත කුමාර දියවඩන අමානුෂික ලෙස ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් තවත් විස්තර පන්ජාබ් පොලිස්පති සර්දාර් අලි ඛාන් විසින් ඊයේ (04) හෙළිදරව් කරනු ලැබුවා.

එහිදී අනාවරණ වී ඇත්තේ කර්මාන්තශාලාවේ යන්ත්‍රසූත්‍රවල අළවා තිබූ ආගමික සටහන් ඇතුළත් ස්ටිකර විදේශීය නියෝජිත කණ්ඩායමක් එහි පැමිණෙන බැවින් ඊට පෙර ඉවත් කරන ලෙස කම්හල් කළමනාකරු වන ප්‍රියන්ත කුමාර විසින් දැනුම්දී තිබූ බවයි.

එම පියවරට විරෝධය පළ කළ ඇතැම් කම්හල් සේවකයන්, ඔහු ඉස්ලාම් දහමට අපහාස කළ බව චෝදනා කරමින් ඔහුට විරුද්ධව විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

පසුව ඔවුන් පැමිණ ප්‍රියන්ත කුමාරට පහර දී ඔහු ඉවතට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, ඊට ඔහුගේ සඟයෙකු එරෙහි වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ප්‍රියන්ත කුමාර ඉන් ඉවතට ගෙන ගිය පිරිස මහාමාර්ගයේදී පහර දී ඔහු ඝාතනය කර තිබෙනවා.

පන්ජාබ් පොලිස් ප්‍රධානියා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ෆර්හාන් ඉද්රීස් සහ උස්මාන් රෂීඩ් ද සිටින බවයි.

අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙසයි පන්ජාබ් පොලිස් ප්‍රධානියා හැඳින්වූයේ.

විමර්ශන සඳහා සී. සී. ටී. වී කැමරා 160කින් ලබාගත් තොරතුරු සහ දත්ත මෙන්ම ජංගම දුරකථන දත්ත ද ලබාගෙන තිබෙනවා.

පන්ජාබ් තොරතුරු අමාත්‍ය හසාන් කවාර් කියා සිටියේ අභ්‍යන්තර සහ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා ප්‍රියන්ත කුමාරගේ සිරුර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ කිසිවෙකු පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට සහතික වූ පන්ජාබ් පොලිස් ප්‍රධානී රාඕ සර්දාර් අලිඛාන් රාජකාරිය මගහැර ඇති නිලධාරීන් සිටිත්නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා සියල්කොට්හි රාජ්කෝ කර්මාන්තශාලවේ කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන කුරිරු ලෙස ඝාතනය කර සිරුර පිළිස්සීමේ සිද්ධියේ කාලවිරාමයන් ද පන්ජාබ් පොලිස්පතිවරයා අනාවරණ කළා.

සිද්ධිය එදින උදෑසන 10.02ට පමණ ආරම්භ වී ඇති අතර, ප්‍රචන්ඩ පහරදීම් සිදුව ඇත්තේ 10.45 ට පමණයි.

එමෙන්ම 11.05ට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලීසියට සිද්ධිය දැන ගැනීමට ලැබී ඇත්තේ 11.28ට බවත් ඔහු අනාවරණ කළා.

ඒ අනුව පොලීසිය ළඟාවී ඇත්තේ 11.45ට පමණයි.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශනවල ප්‍රියන්ත කුමාර දියවඩනගේ සිරුර ගිනිබත් කරද්දී ඒ අසලින් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු දැකගත හැකියි.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමක් ඉස්ලාමාබාද් නුවරට ගොස් පාකිස්ථාන ප්‍රවෘත්ති අමාත්‍ය සහ රජයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්‍රි හමුවුණා.

එහිදී හිරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මරණය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත වන්දි ගෙවීමට සූදානම් බවයි.

ඒ සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ඔහු හිරු වෙත සඳහන් කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top