අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාට පාකිස්තානයෙන් වන්දි (Video & Photos)
Sunday, 05 December 2021 - 7:52 | Views - 6,446
ඝාතනය වූ ශ්‍රී ලාංකිකයාට තම රජය වන්දි ලබාදෙන අතර විදේශ අමාත්‍යාංශය ඊට කටයුතු කරමින් සිටින බව පාකිස්තාන රජය පවසනවා.

පාකිස්තාන ප්‍රවෘත්ති අමාත්‍ය, රජයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්‍රි හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි මේ බව කියාසිටියේ.

up date...,

පාකිස්ථානයේ සියල්කොට් හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු කෲර ලෙස වද දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සිය බලවත් ශෝකය සහ කනගාටුව පළ කළ බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

දෙරටේ රාජ්‍ය නායකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක සාගර සමුළුවට සහභාගිවීම සඳහා එහි ගොස් සිටිනවා.

මෙම අමානුෂික ක්‍රියාව සිදුකළ අයට දෙවියන්ගෙන් කිසිදු මොහොතක සමාව නොලැබෙන බවත් එමෙන්ම නීතියෙනුත් ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත්තේ මේ වන විටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 115 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම සීසීටීවී දර්ශන සහ මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කරමින් මේ සිද්ධියට අදාළ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබෙනවා.

මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම හෙළා දකින පකිස්ථාන ජාතිකයින් ලාහෝර් නගරේ තැන් තැන් වල රැස්වී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාව ඉල්ලා සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

 මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් පන්ජාබ් පොලිස් ප්‍රධානියාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් දහයක් තවදුරටත් විමර්ශන වල නිරත වනවා.

 මේ අතර මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මරණයට පත් ප්‍රියන්ත කුමාර දියවඩන ගේ සිරුර ලබන සඳුදා ලංකාවට රැගෙන එන බව පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ප්‍රකාශ කළා.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි දුරකථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍වරයා අමතා තිබෙනවා.

එහිදී විදේශ අමාත්‍යවරයාට පාකිස්තාන රජයේ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සහතික වී ඇත්තේ මෙම අපරාධය සිදුකළ පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවටයි.

නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියෙන් 1993 වර්ෂයේදී උපාධිය හිමිකරගත් ප්‍රියන්ත කුමාර දියවඩන වසර දහයකට අධික කාලයක් පකිස්ථානයේ සේවයේ නිරත වූ පුද්ගලයෙක්.

 ඔහු ඝාතනයට ලක්වන විට පාකිස්ථානයේ සියල්කොට් හි රාජ්කෝ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ සාමාන්‍ය අධිකාරිවරයා ලෙස සේවය කළා.

 පකිස්ථානයෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ ඔහු විසින් එම කම්හලේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ඉවත් කිරීම හේතුවෙන් මෙලෙස ඔහුට කෲර ලෙස පහර දී ඝාතනය කර ඇති බවටයි.

දැඩි අන්තවාදී දේශපාලන පක්ෂයක් වන ටී.එල්.පී හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික්  අනුගාමිකයින් විසින් අදාළ ඝාතනය සිදුකළ බව සඳහන්.

up date.....,

සියල්කොට්හි කම්හල් සේවකයින් සහ තවත් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.


මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා ඝාතනය කර ඇත්තේ, දෙවියන්ට අපහාස කළ බවට චෝදනා කරමින්.

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පංජාබ්  පොලිස් කණ්ඩායම් 10ක් අනියුක්ත කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර නැමැති  ශ්‍රී ලාංකිකයා ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන සියල්කොට් හි ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියා.

සියල්කොට් හි  දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී (DPO) උමාර් සයීඩ් මලික් Umar Saeed Malik විසින් පොලිස් කණ්ඩායමට මෙම සිදුවීම සම්බන්ධයෙන්  පහත අනුපිළිවෙලට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 11.30ට වසිරාබාද් පාරේ පිහිටි කම්හලක සේවකයකුට පහරදීමක් සහ වධහිංසා පැමිණවීමක් පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබි තිබෙනවා.

උගෝකි පොලිස් ස්ථානයේ ප්‍රධානී ඇතුළු කණ්ඩායමක් පෙ.ව 11:50 වන විට එම ස්ථානයට පැමිණි අතර කුපිත වූ පුද්ගලයින් කණ්ඩායමක්  පුද්ගලයෙකුට ගිනි තබා ඇති බව එහි දී  සොයා ගෙන තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත් වී ගින්න නිවා දැමීමට කටයුතු කළා.

මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වීමෙන් පසු සියොල්කොට් පොලිස් ප්‍රධානී  ඇතුළු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන්  විමර්ශන කණ්ඩායම් දහයක් පිහිටුවා ඇති අතර ඔවුන් වීඩියෝවලින් හඳුනාගෙන ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදු කරනා බවයි වාර්තා වන්නේ.

පන්ජාබ් රජයේ ප්‍රකාශක හසාන් ඛාවාර් මාධ්‍යවේදීන්ට පැවසුවේ මේ වන විටත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර CCTV දර්ශන මගින් තවත් බොහෝ දෙනෙකු හඳුනා ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත් පසුව පන්ජාබ් පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බවයි.
 
මීට පෙර එක් වෛරස් වීඩියෝවක පෙනී සිටි සහ ශ්‍රී ලාංකික කළමනාකරුට එරෙහි ප්‍රචණ්ඩත්වයට සහාය දැක් වූ ෆර්හාන් ඉද්‍රීස් නම් චූදිතයෙකුගේ ඡායාරූප දෙකක් පොලිසිය ට්වීට් කළ අතර එහි එක් ඡායාරූපයක ඔහු සිර මැදිරියක සිටින ආකාරය දැක්වෙන අතර අනෙක ඔහු යම් රූපවාහිනී සාකච්ඡාවක සිටින අයුරු දැක්වුනා.

පන්ජාබ් පොලිස්පති (IGP) විසින් විමර්ශනය අධීක්‍ෂණය කරමින් සිටින අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ  වැටලීම් සිදු කරන බවත් එම ට්විටර් පණිවුඩයේ සඳහන්.

ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයෙකුට ම එරෙහිව උපරිම නීතිමය  පියවර ගන්නා බව හසාන් කවාර් මීට පෙර ප්‍රකාශ කළා.

"අපි අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වනු ඇත" ඔහු කියා සිටියා.














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top