දිවයින වටා විටින් විට වැසි
Sunday, 05 December 2021 - 7:33 | Views - 594

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
වයඹ සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා.
මේ අතර පවතින වැසිබර කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් යම් දැනුවත් කිරීමක් සිදු කරනු ලබනවා.
ඒ අනුව, බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති “ජෝවඩ්” සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී අද (05) දින පෙරවරු 5.30 පමණ විට උතුරු අක්ෂාංශ 18.4 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නව ස්ථානගතව පවතින බව එම නිවේදනයේ සඳහන්.
එය තවදුරටත් දුර්වලවෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර අද (05) මධ්‍යහ්නය වනවිට ඉන්දියාවේ ඔඩිෂා වෙරළට ළඟා වෙනු ඇති බවට අපේක්ෂා කරනවා.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. (10-25) පමණ අගයක් ගත හැකි අතර, ඒ සමග මුහුදේ ස්වභාවය ද තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
කෙසේවෙතත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිනු ඇති.
Share This Article