විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශයෙන් විදුලි අධිකාරීවරුන් ඉවත් කිරීම, ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීම යළි යථා තත්ත්වයට පත් කිරීමේ දී සිදු වූ ප්‍රමාදයට හේතුවක් වූ බව විදුලි තාක්ෂණික, ඉංජිනේරු හා අධිකාරී සංගමය ප්‍රකාශ කළා.
එම නිසා අදාළ බිද වැටීම ස්වභාවික හේතුවක් නිසා සිදු වූවක් ද එසේ නොමැති නම්, කඩා කප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි එම සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්. එම්. රණතුංග කියා සිටියා. ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක මෙම විදුලි බිඳ වැටීම වාර්තා වූ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ඉංජිනේරුවරුන්ගේ ද මැදිහත්වීමෙන් රාත්‍රී 9.30 පමණ වන විට එය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බවයි ඔහු සදහන් කළේ.
කෙසේ වෙතත් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 5වන දිනටත් ක්‍රියාත්මකයි.
ඒ හේතුවෙන් ඉදිරියේදී සිදුවන විදුලි බිඳ වැටීම් යථා තත්වයට පත් කළ නො හැකි වන තත්වයක් රට තුළ උද්ගත විය හැකි බව එම සංගමය පෙන්වා දෙනවා.
විසඳුමක් නොලැබේ නම් ඉදිරියේදී තවත් දැඩි ක්‍රියාමාර්ග වලට යාමට පසු නොබසින බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා. එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ සමිති සංගමයේ සභාපති රංජන් ජයලාල් පැවසුවේ එළඹෙන 08වැනිදා කොළඹට රැස්වීමට බලාපොරොත්තු වන බවයි .
කෙසේ වෙතත් ඔවුන් මේ පිළිබඳව අනතුරු අඟවන්නේ ඉදිරියේදී විදුලි බලය බිඳ වැටීමෙන් රට ගැටලුකාරී තත්ත්වයකට පත්වීමේ හැකියාව නැවත නැවතත් මතකයට නගමිනුයි.