හිටපු ජනපති අගමැතිට කියූ රහස
Friday, 12 November 2021 - 10:10 | Views - 277

හරීන් ප්‍රනාන්දු දේශපාලනයෙන් විශ්‍රාම යන ලිපිය සජිත්ට දීලා.කළුතරදී ගී ගැයූ ස ජ බ මන්ත්‍රීවරු.බොහෝ හැල හැප්පීම් වලින් සන්නද්ධ මෙරට දේශපාලනය ගෙවුණු සතියේත් වඩාත් උණුසුම් වුණා.සසුනඹර එකලු කළ මහා යතිවරයාණන් වහන්සේ නමක වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පසුගිය සතියේ මෙරට සිදුවූ සංවේගාත්මක සිදුවීමක් වුණා. පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් උන්වහන්සේගේ ආදාහන පූජ්‍යෝත්සවය සඳහා සහභාගි වුණා.කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙම සුවිශේෂී ආදාහන පූජෝත්සවය සඳහා සහභාගි වීමට නොහැකි වුණේ එක්සත් ජාතීන්ගේ දේශගුණිකික විපර්යාස සමුළුව සඳහා සහභාගී වීමට ඔහු ස්කොට්ලන්තය බලා පිටත්ව යාම නිසයි. නමුත් සිය විදෙස් සංචාරයට පෙර දිනයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණට පැමිණි ජනාධිපතිවරයා පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.නාහිමිපාණන් වහන්සේගේ දේහයට ගරු බුහුමන් දැක්වීමෙන් අනතුරුව එළියට පැමිණි ජනාධිපතිවරයා සමග උන්වන්සේගේ පවුලේ සාමාජිකයන් මද වෙලාවක් කතා බහක නිරත වුණා. ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයක් ගැනීමටද අවශ්‍ය වුණා. ජනාධිපතිවරයා ඒ සඳහා ද පෙනී සිටිමින් අනතුරුව එම අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝ සංඝරත්නයසමග ද කෙටි කතා බහක නිරත වුණා.වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජ්යෝත්සවයේ දී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් මුහුණට මුහුණ හමු වුණා එහිදී ඔවුන් පවතින දේශපාලන වාතාවරණය පිලිබඳවද කතා කරන්නට වුණා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්දන අතර මෙහිදී දීර්ග කතා බහක් ඇති වී තිබෙනවා. වජිර අබේවර්ධනව අතින් අල්ලාගෙන ගොස් විද්‍යාලංකාර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති වැලමිටියාවේ ඥාණරතන හිමියන් මුණගැස්සවු ප්‍රසන්න "අපේ හාමුදුරුවෝ මේ ඉන්නේ වජිර දේශපාලනිකව අපි බෙදිලා හිටියට වජිර කියන්නේ හොද මනුස්සයෙක් යැයි පැවැසුවා".ඉන්පසු වජිරත් සිය දේශපාලනික අරමුණු ගැන කතා කරන්න පටන් ගත්තා.".රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කිරීම අපගේ වගකීමනේ හාමුදුරුවනේ" වජිර කිවුවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සම්මේලනය පසුගිය දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී කළ කතාව පිළිබඳව බොහෝ දෙනා අදටත් කතා කරනවා.ආණ්ඩුවෙන් ගිලිහුණු තරුණ කොටස්, රට අතහැර යන්නට බලා සිටින තරුණ කොටස්, නැවත ඒකරාශී කර ගත හැකි දේශපාලනයක නිරත විය යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනික පරිණත භාවය මනාව ඔප්පු වූ තවත් එක් කතාවක් ලෙසයි ඇතැමුන් එය හැඳින්වුයේ.මහින්ද රාජපක්ෂ විසින් මෙවැනි තීරණාත්මක කතාවක් කරනු ඇතැයි එම කථාව සැකසූ කෙනා හැර පොදුජන පෙරමුණේ කිසිවකුත් සමුළුවට පෙර දැන සිටියේ නැහැ.ආණ්ඩුව තුළ තිබෙන අභ්‍යන්තර විරසකයන් දුරු කර ගැනීමේ අරමුණින් ඔහු කළ කතාවක් ලෙසද සමහරු මෙම කතාව පෙන්වා දෙනවා.සිය කතාවෙන් පසු ඔහු වේදිකාවෙන් බැස ඉදිරියට පැමිණෙද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂගේ දෑතින් අල්ලා ගෙන කනට ළං වී කිසියම් රහසක් පැවසුවා. "ඔබතුමාගේ කතාව අති විශිෂ්ටයි. මම කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ ඔබ මෙවැනි කතාවක් කරයි කියලා. ආණ්ඩුවක් විදිහට අපි හැමෝම එකට වැඩ කරන්න ඕනේ. මට හරිම සතුටුයි අගමැතිතුමනි" මෛත්‍රීපාල සිරිසේනගේ එම ප්‍රසංශා හමුවේ ඔහු සිනහ මුසු මුහුණෙන් එතනින් පිටත් වුණ. අගමැතිවරයා සියලු දෙනා කැටුව තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වුණේ ඉන් අනතුරුවයි.එදින රාත්‍රිය වනතෙක් ම අගමැතිවරයාගේ දුරකථනයට නිදහසක් ලැබුනේ නැහැ. භික්ෂූන් වහන්සේලා ඇතුළු බොහෝ දෙනෙක් අගමැතිවරයාට කතා කොට ඔහු කළ කතාව අගයමින් සතුට පලකළා.කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම සමුළුව පිළිබඳව එම පෙරමුන ඇතුලෙන් ම මේ වනවිට විවිධ කසුකුසු ඇසෙමින් තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂවල නියෝජිතයින්ට සුභ පැතුම් එක් කිරිමටවත් ඉඩ නොදීම. අඩුම තරමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට පිළිගැනීමේ කතාවවත් නොදීම සම්බන්ධයෙන් ද අද වන විට එම පක්ෂයේම ඇතැමුන් ව්සින් රහස් විවේචන ඉදිරිපත් කරනවා.අයියලා මල්ලිලා සම්මාන බෙදාගන්න පවත්වපු උත්සවයක් ලෙස ද ඇතමුන් මෙම උත්සවය හදුන්වා දෙනවා. සමුළුව ට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැමිණ සිටියේ නැහැ.නමුත් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ සහෝදර පක්ෂ නියෝජිතයින් සමුළුවට එක්ව සිටියා.සමුළුවට නොපැමිණි විමල් පසුදින අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.එහිදී දෙදෙනා පැයක පමණ කාලයක් කතා බස් කළ බවයි අරලියගහ මන්දිර ආරංචි මාර්ග සනාථ කළේ.ජනාධිපතිවරයා විසින් හිටිහැටියේම පත්කරන්නට වුණු " එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳව දිගින් දිගටම විවේචනයන් ඉදිරිපත් වෙනවා.බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම බලකායේ සභාපතිත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් පවා මෙවන විටත් විරෝධතාවන් එල්ල කරමින් සිටිනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්රි ද මෙම බලකාය සඳහා සිය විරෝධය පළකර තිබුණා.අධිකරණ ඇමතිවරයා ලෙස තමාව දැනුවත් නොකොට මෙවැනි කාර්ය සාධන බලකායක් පිහිටුවීම වැරදි බවයි ඔහු සඳහන් කර තිබුණේ. මේ නිසා කලකිරීමට පත් අධිකරණ ඇමතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ද තීරණය කර තිබුණා .කෙසේ නමුත් අධිකරණ ඇමතිවරයා ජනාධිපතිවරයා සහ අග්මැතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණා. මෙම කාර්ය සාධන බලකාය සඳහා දෙමළ නියෝජනයක් පත් නොකිරීම සම්බන්ධයෙන් ද විවිධ විවේචනයන් ඉදිරිපත් වුණා. නමුත් අද වන විට එම අඩුපාඩුව ද නිවැරදි කරමින් මෙම බලකාය සදහා දෙමළ නියෝජනයන් පත් කිරීමට සහ කළයුතු නිශ්චිත කාර්ය භාරයන් පැවරීමටත් කටයුතු කර තිබෙනවා.ආණ්ඩුව පෙරළීමේ දැවැන්ත සටනක නිරත වී සිටින සමගි ජන බලවේගය සිය මන්ත්‍රීවරුන් සඳහා පසුගිය සතියේ කළුතරදී පුහුණු වැඩමුළුවක් පැවැත්වුවා. ඒ සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සහභාගි වුනා. කළුතර පිහිටි සංචාරක හෝටලයක දින දෙකක් පැවති මෙම වැඩමුළුව විපක්ෂ නායක පුද්ගලික ලේකම් රවී ජයවර්ධන විසින් සංවිධානය කර තිබුනා.වැඩමුළුවේ පළවෙනි දිනයේ පස්වරුවේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගීත ගායනා කරමින් සතුටු වුනා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පළමු ගීතය ගායනා කළා . ගුණදාස කපුගේ විසින් ගායනා කරන" කඳුළු මුතුවැල් සලා ගීතය" ඉතා අපූරුවට මුජුබර් රහුමාන් විසින් ගැයුවා. ඉන් අනතුරුව ඔහු විපක්ෂ නායකවරයාට ගීත ගයන්න ආරාධනා කළා . විපක්ෂ නායකවරයා ගීත දෙකක් ගායනා කර, මයික්‍රෆෝනය සරත් ෆොන්සේකා වෙත බාර දුන්නා ඔහු ද ගීත දෙකක් ගායනා කළා .මේ අතර නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ ඇතුළු මන්ත්‍රීවරු නටමින් විනෝද වුණා. හේෂා විතාරණ සහ චමින්ද විජේසිරි එක්ව ගීත ගායනා කරද්දී නලින් බණ්ඩාර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ඉදිරියට පැමින අපි නටමු, අපි නටමු තුටිණ තුටින ගීත ගයාලා කියමින් රංගනයන් වල නිරත වුණා. වැඩමුළුවේ පළවෙනි දිනය එසේ නිමා වුණාසමුළුවේ දෙවන දිනයේදී මන්ත්‍රීවරුන් වෙත විශේෂ දේශන තුනක් අසන්නට සලස්වා තිබුණා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල කුමාර, ආචාර්ය නිශාන්දී ද මේල් මෙහිදී රටේ ඉදිරි ගමන ගැනත් පවතින ආර්ථික තත්ත්වයන් ගැනත් දේශන පැවැත්වුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා විසින් වැඩමුළුව මෙහෙයුවනු ලැබුවා."මෙවැනි වැඩමුළු දෙක තුනක් තිබ්බොත් ආණ්ඩුව පෙරළන එක කජ්ජක් නෙමෙයි" කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පැවසුවා. සියල්ලෝම එය අනුමත කළා. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහි සඳහන් කළේ ආණ්ඩුවේ අය වැය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙවැනි වැඩමුළුවක් වත්තල හෝටලයක දී පවත්වන බවයි .පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ වත්තල දේශපාලන කාර්යාලය පසුගියදා විවෘත වුණා. මෙහිදී විපක්ෂනායකවරයා හරින් ට වත්තල ආසන සංවිධායක ධුරය පිරිනැමීමේ ලිපිය බාර දුන්නා. ඉන්පසු හරීන්ද පක්ෂ නායක වරයා වෙත ලිපියක් භාර දුන්නා. බොහෝ දෙනා ඒ කුමක් දැයි කසු කුසු ගාන්නට වුණා.පසුව උත්සවය මෙහෙයවූ නිවේදකයා පැවසූයේ හරීන් ප්‍රනාන්දු දේශපාලනයෙන් ඉවත් වීමේ ලිපිය මෙසේ භාරදුන් බවයි. හැමෝම පුදුමයට පත් වුණා. හැබැයි ඒ ලිපිය සඳහන්ව තිබුණේ අවුරුදු හැට පිරුණට පසු තමා දේශපාලනයෙන් ඉවත් වෙන බවයි.එය නිවේදකයා කියවූ පසු සභාවේ සිටි සියල්ලෝම සිනහාවෙන්නට වුණා .අනතුරුව සභාව අමතමින් කතා කළ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අපූරු කතාවක් කළා."හරින් ඔයා හැටෙන් විශ්‍රාම යනවා කිවාම මට ලැජ්ජයි" නමුත් ලබන අවුරුද්ද වන විට පාර්ලිමේන්තුවේ නායකයෝ ගොඩකට අවුරුදු හැත්තෑවත් පනිනවා. ඒ නිසා මම ඒ ලැජ්ජාව ඉවත් කර ගන්නවා .විපක්ෂ නායකවරයා ද මෙහිදී කථා කරමින් පැවසුවේ හරීන් හැට කියන්නේ ඉලක්කමක් විතරක් බවයි . වැඩ කිරීමට වයස අදලා නැති බවත් සජිත් පැවැසුවා."ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපති වුණේ අවුරුදු හැත්තෑ දෙකෙන් අමතක කරන්න එපා එක" සජිත් එහෙමත් කිව්වා. .එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී පසුගිය දිනක දීපවාලි උත්සවයක් පැවැත්වුණා. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ඉතා අලංකාර ලෙස පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර විසින් සංවිධානය කර තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ද පසු ගිය දා පැවැත්වුණා. එහිදී සිය පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.දින එක්සිය විස්සක් පුරාවට පැවති ගුරු විදුහල්පති වැටුප් අරගලය නිමා වූයේ ගුරු විදුහල්පති සංගම් අග්‍රාමාත්‍ය වරයා සමග පැවැත්වූ සාකච්චාවකින් පසුවයි. එහිදී ගුරු විදුහල්පති වැටුප් ගැටලුව එළැඹෙන අයවැයෙන් විසඳන බවට අගමැති වරයා සංගම් නියෝජිතයින්ට දුන් පොරොන්දුවක් මත ඔවුන් වර්ජනය අවසන් කළා. ඒ අනුව ගුරු විදුහල්පති වරුන්ට රුපියල් 6.000.00 සිට 12.000.00 දක්වා වැටුප් වැඩි වීමක් හිමිවනු ඇති බවටයි තොරතුරු වාර්ථා වෙන්නේ. මීට පෙර අවස්ථා තුනක් යටතේ ගෙවීමට එකඟ වූ වැටුප් වැඩිවීම් මෙවර අයවැයෙන් එකවර ගෙවන බවට අගමැතිවරයා ගුරු සංගම් නියෝජිතයින්ට පොරොන්දුවී තිබෙනවා.
Share This Article