හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 15 ක වෘත්තිකයින් අද වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, හෙද, ඖෂධවේදීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් මෙම සංකේත වර්ජනයට එක්ව සිටිනවා.
මෙම වර්ජනය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වැටුප් විෂමතා ඉවත් නොකිරීම, වෘත්තීයවේදී උපාධියට හිමි තනතුරුවල පිහිටුවීමට කටයුතු නොකිරීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටුවීමට කටයුතු නොකිරීම මොවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වනවා.
මේ අතර, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද දහවල් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, වැටුප් දීමනා, නිළ ඇඳුම් දීමනා, සෞඛ්‍ය සේවක හිඟය සහ විධිමත් ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, කෑගල්ල සහ අම්පාර මහ රෝහල් ඉදිරිපිට මෙන්ම අක්කරෙයිපත්තුව මූලික රෝහල ඉදිරිපිට මෙලෙස විරෝධතා සිදුකරන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ.
ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිටට එක්වෙමින් මෙම විරෝධතාව සිදුකිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ. එසේම අද දහවල් 2.00ට ලිප්ටන් වටරවුම ඉදිරිපිට ගුරු සංගම් ඇතුළු තවත් සංගම් කිහිපයක් එක්ව විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කියා සිටියේ සාධාරණය ඉටු නොවුනහොත් ඉදිරියේදී සංගම් රැසක් සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.