සපුගස්කන්දේ ගමන් බෑගයක තිබූ කාන්තා මළ සිරුරේ හෙළි නොවූ රහස (Video)
Friday, 05 November 2021 - 7:09 | Views - 1,682
සපුගස්කන්ද - තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් ඊයේ (04) සොයා ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති අතර එහි අත් පා ගැට ගසා තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි බෑගය පරීක්ෂා කර ඇත්තේ.බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින 4 කට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි. මෘත ශරීරය හඳුනාගත නොහැකි අන්දමට නරක්වී ඇති බැවින් ශරීරයේ යම් කැපුම් තුවාලයක් තිබේදැයි පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකි බව ද පොලීසිය සඳහන් කළා.පසුගිය මාර්තු මාසයේදී ද කොළඹ - වේල්ලවීදියේ බෑගයක තිබී හිස නොමැති කාන්තා මළ සිරුරක් සොයා ගත් අතර, මෙතෙක් එම සිරුරේ හිස සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට පොලීසියට හැකියාව ලැබුණේ නැහැ.
Share This Article