තැන තැන මතුවෙන පොලිස් ජෝගි වලට වෙනස්ව බෙදෙන පොලිස් නීතිය
Friday, 29 October 2021 - 14:38 | Views - 386

ගත වූ කාල සීමාව දෙස හැරී බැලීමේ දී අවස්ථා දෙකක දී පොලිසිය විසින් සිවිල් වැසියන්ට පහර දීමේ සිදුවීම් දෙකක් වාර්තා වුණා.ඉන් එකක් පොලිස් කොස්තාපල්වරයෙකු හා අනෙක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හා සම්බන්ධවයි.ගත වූ 23 වැනි දා මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ රථවාහන රාජකාරි සිදු කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෙම එක පහර දීමක් සිදු කළ බව වාර්තා වුණා.මෙම කොස්තාපල්වරයා, රථවාහන පරීක්ෂා කරන අතර වාරයේ දී රාජකාරියට හා පරීක්ෂාවන්ට බාධා වෙන අයුරින් ගමන් කළා යැ යි පවසමින්, තරුණයින් දෙදෙනෙකුට බරපතළ ලෙස පහර දී තිබුණා.නො නවත්වා ධාවනය කළ අදාළ යතුරුපැදිය පසුපස හඹා ගොසිනුයි කොස්තාපල්වරයා මෙම පහර දීම සිදු කළේ.උක්ත සිද්ධිය, අසල සිටි පුද්ගලයෙකු වීඩියෝගත කර තිබූ අතර, සිද්ධිය පිළිබඳ විමර්ශනවලින් අනතුරු ව අදාළ කොස්තාපල්වරයා අත් අඩංගුවට ගත්තා.අධිකරණයට ද ඔහු ව ඉදිරිපත් කර තිබූ අතර, කොස්තාපල්වරයාට සිදු වුණේ වැඩ තහනම් වී ගෙදර යන්නටයි.මීට අදාළ අනෙක් සිද්ධිය වාර්තා වුණේ, 25 වැනි දා රත්නපුර - කිරි ඇල්ල මාර්ගයේ ගොරකාඇළ ප්‍රදේශයෙන්.එම පහර දීම සිදු කළේ, සබරගමුව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින්.මෙම පහර කෑමට හේතු වූ පුද්ගලයා සිදු කර තිබූ වැරැද්ද ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා හඳුනාගෙන තිබුණේ, අදාළ පුද්ගලයා විසින් තමන්ගේ නිල රථය පසු කර ධාවනය කිරීමයි.එම රථය හරස් කොට වාහනය නැවැත් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි සිටි පුද්ගලයාට පහර දී තිබුණා.එම සිදුවීම ද කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර තිබූ අතර, ඒ පිළිබඳ සමාජ මාධ්‍යය තුළ මහත් කතා බහකට ලක් වුණා.රන්මල් කොඩිතුවක්කුගේ සිද්ධිය සම්බන්ධ ව පරීක්ෂණයක් සිදු කළ පොලිස්පතිවරයා ඔහුට ලබා දී තිබුණේ අපූරු දඬුවමක්.ඒ රන්මල් කොඩිතුවක්කු ව සබරගමුවේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යැවීමයි.''ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'' යන ආදර්ශයෙන් ක්‍රියා කරන පොලිසියේ මෙවන් පහර දීම් අතිශය ජුගුප්සාජනක වනවා මෙන් ම, ඒ පිළිබඳ ව මෙවැනි හැදි දෙකේ දඬුවම් දීම ද අතිශයින් අශිෂ්ට ය.තරු හා කළු පටි නො පැළඳි කොස්තාපල්වරයාට එසැවුණු නීතියේ අත, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ දිරා ගිය පරඬැලක් මෙන් වුයේ කෙසේ ද? කාගෙ වුවමණාවට ද? කවුරුන් පැවසූ නිසා ද? කාගේ අණ කිරීමක් නිසා ද?මෙවැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු අපේක්ෂාවෙන් සිටින මහජනයාට, පොලිසිය බඳින උත්තර මොනවා ද?ඒ පිළිබඳ පොලිසිය විසින් අපක්ෂපාතී, පැහැදිලි හා නිරවුල් පිළිතුරක් දෙනු ඇතැ යි අපි අපේක්ෂා කරමු.
Share This Article