ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 25 සිට යළි ඇරඹෙයි
Friday, 22 October 2021 - 8:50 | Views - 461

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා මෙම මස 25 වැනි දින සිට යළිත් ආරම්භ කිරීමට නියමිතයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ එකවර විශාල සේවාලාභීන් පිරිසක් ඒකරාශී වීමේ අවදානම වැළැක්වීමට, සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ අනුව එක්දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛා කාර්යාල වෙත යොමු කළ යුතු වනවා.
එහිදී තමන්ට පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම සිදු කර ගත යුතු බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
නියමිත දිනයට සහ වේලාවට දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර, එසේ පැමිණීමට නොහැකි වුවහොත් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් වෙනත් දිනයක් ලබා ගත යුතු වනවා.
මේ අතර, සාමාන්‍ය සේවය යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන් හට ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
එමෙන්ම සාමාන්‍ය සේවය යටතේ යොමු කරන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර, ඊට අදාළ ජාතික හැඳුනුම්පත් අවම කාලයක් තුළ කඩිනමින් නිකුත් කිරීමට ද මෙතුළින් අපේක්ෂිතයි.
පැමිණෙන සියලුම සේවාලාභීන් සෞඛ්යාරක්ෂිත නීතිරීති පිළිපඳිමින් පැමිණීමට වගබලා ගන්නා ලෙසට ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.
Share This Article