අතුරුදන් වූ ඉන්දීය ධීවරයා හමුවෙයි
Thursday, 21 October 2021 - 9:10 | Views - 217

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව පවසනවා.
යාපනය - කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරටට අයත් මුහුදු කලාපයේදී පසුගිය සඳුඳා මෙම අනතුර සිදුව තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
පසුව අදාළ ධීවරයාගේ මෘතදේහය සොයා නාවික හමුදා කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබුණා.
ඒ සඳහා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රාද යෙදවීමටයි පියවර ගෙන තිබුණේ.
පසුව අදාළ ධීවරයාගේ මෘතදේහය නාවික හමුදාව විසින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ කන්කසන්තුරය වරායේදී සිදු කර ඇති අතර, එම ස්ථානයට යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගි වූ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
එසේම, මෙම මෘතදේහය හඳුනා ගැනීම සඳහා නාවික හමුදාව විසින් අදාළ අනතුරෙන් මුදා ගන්නා ලද ඉන්දීය ධීවරයින් දෙදෙනාද එම ස්ථානයට රැගෙන ඒමට කයිට්ස් පොලිසිය කටයුතු කර තිබෙනවා.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘතදේහය යාපනය ශික්ෂණ රෝහල වෙත යොමුකළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.
Share This Article