වසරකට පමණ පසු සතියක් තුළ සටහන් වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ සතියේ දී වාර්තා වී තිබෙනවා.
රටවල් මඟින් නිකුත් කරන ජාතික නිල දත්ත විශ්ලේෂණය කරමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ සැප්තැම්බර් 27 වැනි දා සිට ඔක්තෝම්බර් 03 වැනි දා දක්වා ලොව පුරා කොරෝනා මරණ 53,245ක් වාර්තා වී ඇති බවයි.
එය දිනකට මරණ 7,606ක සාමාන්‍යයක් ලෙස සැලකිය හැකියි.
ඒ අනුව ගෝලීය කොරෝනා වසංගතය අගෝස්තු මාසය අවසානයේ සිට අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි එමඟින් සඳහන් කළේ.
වසංගතය උත්සන්න ව පැවති සමයේ, ලොව පුරා දෛනික කොරෝනා මරණවල සාමාන්‍යය දස දහස ඉක්ම වූවා.
සතියක කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ සතියට වඩා අඩු අගයක් මීට පෙර වාර්තා කළේ, පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් 31 වැනි දා සිට නොවැම්බර් 06 වැනි දා දක්වා වූ සතිය තුළයි.
පසුගිය මාසය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව හතරෙන් එකකින් පමණ පහත වැටී තිබෙනවා.
ලොව පුරා එන්නත්කරණ වැඩසටහන් ප්‍රගතියක් ලැබීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි.
ඉහළ ආසාදන හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු අනෙකුත් ප්‍රභේද හේතුවෙන් වසරක් පුරා පැවති කොරෝනා වෛරස් රැල්ල පහළට යොමු කරමින් ආසාදිත සංඛ්‍යාව ද පහත වැටීමක් පෙන්නුම් කරනවා.
අගෝස්තු මාසය අවසානයට සාපේක්ෂ ව මේ වනවිට නව ආසාදිතයින් සංඛ්‍යාව ද තුනෙන් එකකින් පමණ අඩු වී ඇති බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ.