අමතක කරන්නම බැරි සොඳුරු මතකයක් ගැන මුහුණු පොතේ හමු වූ සංවේදී සටහන
Friday, 01 October 2021 - 18:12 | Views - 725
“මම වෙන මෙලඩියක් හදන්නම්.
තව වෙනස් කරල දික් කරල ලියමු...”

සුනිල් පෙරේරා කියන්නේ අපේ රටේ සංගීතයේ එක්තරා විප්ලවීය වැඩ කොටසක් සිදු කරපු විශිෂ්ඨ ඝනයේ පුද්ගලයෙක් කියලා කිව්වොත් හරි..

නිර්භයව තමන්ගේ මතය ලෝකයා ඉදිරියේ කියන්නට බිය නොවුණු මේ සංගීත නිර්මාපකයා සහ ගායකයා, තමන්ගේ ගීතවලින් පවා සමාජයේ විවිධ පැතිකඩවල් ගැන කතාබහ කළා.

ජීප්සිස් සංගීත කණ්ඩායමේ බොහෝ ගීත රචනා කළ පද රචකයෙක් තමයි, ආනන්ද පද්මසිරි කියලා කියන්නේ. විශේෂයෙන් අදටත් අතිශය ජනප්‍රිය "ලොවේ සැමා" ගීතය හේමසිරි හල්පිටයන් සමඟ එක්ව රචනා කරන්නෙ ඔහු. ඒ විතරක් නෙවේ. සීතල හිම රටේ, අමතක කරන් එපා, ලස්සන ලෝකයේ වැනි ගීත රැසකම පද අයිතිකරු වන්නේත් ආනන්ද පද්මසිරි.

සිය මුහුණු පොතේ ඔහු විසින් "සුනිල් පෙරේරා මතක" නමින් පසුගිය සමයේ ලිපි පෙළක් පළ කළ අතර එහි අවසාන දිගහැරුම තුළින් ඔහු විශේෂ හෙළිදරව්වක් කර තිබුණා.

එම ලිපිය පහතින් බලන්න...


ගීත රචකයෙකු ලෙස මා සුනිල් පෙරේරාට එක් වූයේ 1981 දී පමණය. ඒ වකවානුව වෙද්දී "සොමිය " කැසට්පටය ජනප්‍රියව පැතිරුණි. ගී ලොවේ " අනංගයා "ලෙස හැඳින්වුණේ එච්. ආර්. ජෝතිපාලයන්ය . කුරුමිට්ටන් අඟහරු ලොවෙන් පැමිණ ජිප්සීස්ලා හමු උනා සේ ජිප්සීස්ලා සුරලොව ගොස් අනංගයා හමු වන අයුරු ගීයකට ලියා ජෝති හා ජිප්සීස් එක් කරන්නට මට සිතුණි. එහෙත් එසේ ලියූ ගීය කෙරුණේ නැත . " බූරු ඇඳේ පෙරලි පෙරලි " යනුවෙන් මා ලියූ ගීය සුනිල් සංගීතවත් කර ගැයුවේය.

ජිප්සීස් මුල්ම ගීත රචකයා වූ චන්ද්‍රා දේවාදිත්‍ය ශූරීන් අති දක්ෂයෙකි. ඔහු සේවය කළේද ජිප්සීස් කාර්යාලයේමය. ඔහු ලියූ " කෙල්ලො නැතුවත් බෑ " විකට ගීය කලක සිට ජනප්‍රියව තිබුණි. එය නවීකරණය කළ යුතු බවත් අන්තරා කොටස් දෙක අලුතෙන් ලියන ලෙසත් සුනිල් මට කීය . ඒ වන විට මම කිසිදු හවුල් නිර්මාණයකට එක්ව නොසිටියෙමි.

මා චන්ද්‍රාගෙන් එහි නව අන්තරා කොටස් දෙක ලියන්නදැයි විමසුවේ ඔහු අකමැති නම් නොලියා සිටින්නට සිතාය. " ඔයා ලියන්න පුතා...." ඔහු එකහෙළාම කීය. ඒ අනුව "කොට සාය ගවුම්..."/ " දැන් සාය මැදින්..." යනුවෙන් දැන් පවතින අන්තරා දෙකම මම ලිව්වෙමි. එයත්, " බූරු ඇඳේ " ගීයත් " රත්තරන් ගී " නමින් නිකුත් කළ ද්විත්ව කැසට්පටයට ඇතුළත් කරන ලදී . ජිප්සීස්ට වසර 15 පිරීමේ ප්‍රසංගයේද , ගම්පහ ප්‍රසංගයේද සුනිල් මට තුති පුදා ඒවා වරින්වර ගැයූ බව මට මතකය.

ඉන්පසුව 1987 දී මුල්ම ගීත හතරේ කැසට්පටය වූ " ලුණුදෙහි " සඳහා සැලසුම් කෙරුණි. ගීත දෙකක් හේමසිරි හල්පිටද , ගීත දෙකක් මාද ලියන්නට නියමිත විය. එහෙත් සුමිතුරු ජෝතිගේ අවමඟුලෙන් පසුව මට දරුණු ලෙස කහ උණ ( හෙපටයිටිස් බී ) රෝගය වැළඳුණේය.

මාස තුනක් අනිවාර්යයෙන් ඇඳටම වී විවේකීව සිටිය යුතු වූයෙන් රත්මලානට පැමිණ මගේ ගී දෙක ලියන්නට නොහැකි විය. තනුව හදද්දී ලියන්නට නම් මා යා යුතුමයි . එහෙත් කහ උණ දරුණුය .

ජංගම දුරකථන/ අන්තර්ජාල පහසුකම් නැති යුගයක කුමක් කරන්නද ? එයත් හල්පිටටම කියා ලියවන්නැයි මා සුනිල්ට කී බව මතකය .අවසානයේ සුනිල් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසංගවල පමණක් ගයමින් සිටි ප්‍රාදේශීය බයිලාකරුවෙකුගේ ගී දෙකක් රැගෙන තමන් ගයා කැසට්පටයට යෙදුවේය. මා සුව වී එද්දීද කැසට්පටය නිකුත් කර නොතිබුණි.

මා දායක විය යුතුම බව කී සුනිල් එම ලුණුදෙහි කැසට් කවරයේ " අමුකහගේ තුනපහසිරි " ආදී නම්ද , " නිෂ්පාදනය :- වළඳ,ලිප උඩ,කුස්සියමුල්ල " වැනි සටහන්ද මා ලවා ලියවා ගත්තේය.

ඉහත කී බයිලාකරුවාට යම් නමක් දමා තිබුණේ නිහාල් නෙල්සන් විසිනි. සුව සේවක පිරිසක් අඳින කාකි කමිසයක් ඇඳගෙන ප්‍රසංග භූමිවලට එන නිසා එම නම යොදා තිබේලු. කෙසේ හෝ වේවා කහ උණ හැදීම නිසා මට අහිමි වූ අවස්ථාව ඔහුට ලැබීමෙන් ඉදිරියට ඒමට ඔහුට හැකි විය. සත්සර සංගීත පත්‍රයටද ලියා මා ඔහුට සහාය දැක්වුවත් පසුකාලීනව ඔහු ක්‍රියා කළ ආකාරය ගැන මගේ කලකිරීම සුවිශාල බැවින් ඔහුගේ නම සඳහන් කරන්නට හෝ මා කැමති නැත.

1987 දීම ගම් උදාව ගැන ජිප්සීස් නිකුත් කළ " සෙවනට ආසිරි " කැසට්පටයේ ගී හයක් මම ලිව්වෙමි. "ඔජායේ / ආදරේ "වැනි කැසට්පටවලට මා ලියූ ලස්සන ලෝකයේ - අමතක කරන්නෙපා - යාලුවෝ අපි යාලුවෝ - මායා --ආදරේ ඔබ මා හට ( ල ම්බාඩා ) සහ පසු කලක ලියූ " ඔබ ලස්සනයි " ගීයද රසිකයන් අතරට ගියේය. "රන් හිරු නැගිලා "සහ "මහපොළ නව සංකල්පයයි" ( ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් ) වැනි ප්‍රචාරක ගී සහ වෙළඳ දැන්වීම් ගීතද සුනිල්ට ලිව්වෙමි. සිංගර් රූපවාහිනී යන්ත්‍ර ගැන මා ලියා සුනිල් ගැයූ " යස රූප මවයි " ප්‍රචාරක ගීයට වසරේ හොඳම ප්‍රචාරක ගීය ලෙස සම්මානද ලැබුණේය.

ගායක ගායිකාවන් පිරිසක් යොදා කළ " ලොවේ සැමා එකම දැයේ " ගීය ලිව්වේ මා සහ හේමසිරි හල්පිටය. එහෙත් "ආරාධනා "සහ " තිරතරු " සිනමා පත්‍රවල හල්පිට ගැන පළ වූ ලිපිවල එය හල්පිටගේ තනි රචනයක් බව සඳහන් කිරීම නිසා මට මා වෙනුවෙන් පිළිතුරු නොදී ඉන්නට බැරි විය. එකල පුද්ගලික විද්‍යුත් මාධ්‍ය නොතිබුණි. මුද්‍රිත මාධ්‍යය ප්‍රබල විය.

" ලොවේ සැමා.." ගීය ගැන වාදය මුද්‍රිත මාධ්‍යයෙන් " නැගලා යාම " සුනිල්ලාට මහත් වාසියක් වූවේ එම වාදය කැසට්පටයේ විශාල අලෙවිය සඳහා රුකුලක් වූ නිසාය.අවසානයේ එම වාදය මැදට එමින් තිරතරු පත්‍රය මගින් සුනිල් හල්පිටට සහ මට පොරොන්දුවක් දුන්නේය. යළි අප දෙදෙනාටම තනි ගී ලියන්නට කියනවා මිස හවුල් වැඩ කරන්නට නොකියන බව එම දැඩි පොරොන්දුවයි .

එතෙකින් වාදය අවසන් විය.

විජය කුමාරතුංගයන් ඝාතනය කළ පසුව විජය සමරු ගී 8 ක් යොදා " සඳ කුමරා " කැසට්පටය නිකුත් කෙරුණි. සුනිල් හා පියල් ගැයූ එම ගී අටම ලිව්වේ මාය.

1982 දී පමණ දිනක මා තුළ ඇති වූ සිතුවිල්ලක් අනුව පරාජිත දේශපාලකයෙකුගේ වේදනාව ගී පදවැලකට නැගුවෙමි. " කතිර පාර සැරට වැදුන..." යනුවෙන් මා ලියූ එම පදවැල සුනිල්ට පෙන්වා එය ගයන්නට යෝජනා කළෙමි. " වචන නම් හොඳයි.ඒත් මේ වෙලාවෙ මේක කිව්වොත් හුඟ දෙනෙක් තරහ කර ගන්න වෙනව..." ඔහු පදවැල කියවා ක්ෂණිකව දුන් පිළිතුරයි.

සාමාන්‍යයෙන් මා කාට හෝ ගී පදවැලක් දුන් විට ඔවුන් එකඟ නැත්නම් ආපසු ගන්නා නමුත් සුනිල්ගෙන් එදා කතිර පාර ගී පදවැල සහිත කඩදාසිය ආපසු නොගත්තේ මන්දැයි මට අදටත් සිතා ගත නොහැක . එසේ ආපසු ගත්තා නම් අද මෙතැන මෙවන් කතාවක් නොලියවෙනු ඇත.

සුනිල් කඩදාසිය සිය ෆයිල් එකට දමා ගත්තේය. එපමණකි. ඉන් වසර අටක් පමණ ගත වූ පසුව එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී යුවළගේ විවාහ මංගල්‍යය ළඟා විය. ඔවුන්ට තිළිණයක් ලෙස ආසිරි ගීයක් සහිතව ගී හතරේ කැසට්පටයක් දෙන්නට මට සිතුණි.

ධනපාල උඩවත්ත ගී හතර ගැයූ අතර සංගීතවත් කළේ සරත් වික්‍රම හා උපාලි කන්නන්ගරයි . සුනිල්ට පෙන්වා ඔහු නොගැයූ කතිර පාර ගීයද උපාලි කන්නන්ගරගේ සංගීතයට ධනපාල ලවා ගායනා කරවූයෙමි. පටිගත කළේ නාමල් ප්‍රනාන්දුය. සුබ යෝගේ නමින් එම කැසට්පටය නිකුත් කෙරුණේ එඩ්වඩ් - චරිතා විවාහ මංගල්‍යයේදී bmich හිදීය. ධනපාල පසුව එය බෙදා හැරියත් එම ගී මාධ්‍යයෙන් ඇසුණේ නැත.

තවත් දෙවසරකින් පමණ 1994 සුනිල් සහ මා රත්මලානේ ඔහුගේ කාර්යාලයේ කතා කරමින් සිටියදී සුනිල් ගීත ෆයිල් එක ගෙන එතුළින් කතිර පාර පදවැල මා ලියූ කඩදාසිය එළියට ගත්තේය . " මතකද මේක. දැන් අපි මේක කරමු.." ඔහු කීය. " සුනිල් අර වෙලාවේ බෑ කියපු නිසා මම ධනපාල දාල මේක කියෙව්වනේ. දැන් කරන්නෙ කොහොමද ?" මම කීවෙමි.

" ඒත් ඒක වෙඩින් කැසට් එකට කළා විතරනේ. මම වෙන මෙලඩියක් හදන්නම්. තව වෙනස් කරල දික් කරල ලියමු..." සුනිල් කීය.එහෙත් ධනපාල උඩවත්ත ගැනද කල්පනා කළ යුතු විය. මා ඔහු ලවා කතිර පාර ගායනා කරවූ බැවිනි. ධනපාල ගීය ඉදිරියට ගෙනාවේ නැතත් මුල් ගායකයා ඔහුය.

තීරණයක් නැතිව දින ගත වෙද්දී මට සැළ වූවේ මා අසනීප වූ විට ලුණුදෙහි කැසට්පටයට සම්බන්ධ කර ගත් අර බයිලාකරු ලවා මගේ ගී පදවැලට කොටස්‌ එක් කර ඇති බවය. මම වහා සුනිල් ඇමතුවෙමි . ඔහු එය පිළිගෙන මට හමුවන ලෙස කීය. අර බයිලාකරු ලවා මගේ පදවැලට කොටස්‌ එක් කීරීමට මම විරෝධය පෑවෙමි. සුනිල් වෙන තනුවක් හදා තිබුණි. දැන් කෙසේ හෝ මගේ පදවැල මා බේරා ගත යුතුය.. ධනපාලද කිසිදා ප්‍රසංග හෝ වැඩසටහන්වල මෙය නොගැයූ නිසා සුනිල්ලා ගැයූ විට එය මතු වනු ඇත. එනිසා මම සුනිල්ගේ තනුවට මගේම වදන් ලිව්වෙමි . අනෙකාගේ වදන් කිසිවක් නොයොදන ලෙස පැහැදිලිව සුනිල්ට කීවෙමි.. දෙන්නාගේම වදන් යොදමු යයි ඔහු කී විට "ලොවේ සැමා "අවුලේදී සුනිල් දුන් පොරොන්දුව සිහි කර දුන්නෙමි .එනම් මා කිසිදාක හවුල් නිෂ්පාදන වලට එක් කර නොගන්නා පොරොන්දුවයි.

එහෙත් අවසානයේ සිදු වූවේ මා විසින්ම ලියූ ගීය නැවත හවුල් අව්ලකට පටලවා පටිගත කිරීමයි. මුලින් කැසට්පටය නිකුත් කළේ රචක නම් ගීයෙන් ගීයට නොයොදා පොදුවේ කවරයේ යොදමිනි. සංයුක්ත තැටියේදී සංකල්පනාව මගේ බව සඳහන් කර රචනය දෙකඩ කර තිබුණි.

මම සාතිශය කළකිරීමෙන් සුනිල්ට දොස් නැගුවෙමි. මට සිදු කෙරුණේ බලවත් අසාධාරණයක් බවත් තමන් පොරොන්දු කැඩූ බවත් ඔහුගේ සිත දන්නා නිසා රූප රචනයේ ගීත රචක නම් යොදා නැත. එහෙත් රූගත කරන තැනට පවා ගොස් බයිලාකරු කියා තිබුණේ " සිංඤෝරේ ගීය" තමන්ගේ තනි වැඩක් බවය. "සිංඤෝරේ ගීය" එම බයිලාකරු ගේ අපූර්ව නිර්මාණයක් බව වැඩසටහන්වල පට්ට ගැසුහ.

මගේ ගීයට රිංගුවා මදිවාට වැඩසටහන්වල මට ගරහන්නටත් සදාචාරයක් නොමැති බයිලාකරු ඉදිරිපත් විය . සැබැවින්ම එවන් කුහක කතා සිහි කිරීමද අපුලකි. සුනිල් මෙවැන්නෙකු යොදා ගත්තේ කුමටදැයි දහස් වරක් මම මගෙන්ම විමසුවෙමි. " ඇයි මෙහෙම කළේ ?" යන පැනයට සුනිල්ගේ සදාකාලික පිළිතුර වූයේ " දැන් ඕව අමතක කරමු " යන පිළිතුරය .

මම මට සිදුවූ අසාධාරණය ගැන "සටන "තිරතරු "හා තවත් පත්‍රවලින් හෙළි කළෙමි. එයද" සිංඤෝරේ ගීය" නැගලා යාමට හේතු විය. "ලොවේ සැමා" වාදයේදී මෙන් "සිංඤෝරේ ගීය" තුළින්ද ගැටුමක් මවා ප්‍රචාරයක් ලබා ගැනීම සුනිල්ගේ අරමුණක් වන්නට ඇත.

( Marketing) කෙසේ හෝ වේවා දිගුකාලීන මිතුරු මටද දැවැන්ත අසාධාරණයක් ඔහු සිදු කිරීමෙන් උග්‍ර ලෙස කළකිරුණෙමි. වරින් වර එම කළකිරීම් ලිපි මගින්ද දන්වා ඇත. අවසන් වශයෙන් සුනිල්ට ලිපියකින් විරෝධය පෑවෙමි.

ඉන්පසුව ඔහු එක්වරක් කීවේ මා එම සංකල්පනාවේ හිමිකරු බවයි. බයිලාකරු මගේ නිර්මාණයට පූට්ටු වී එය තමාගේ තනි වැඩක් ලෙස කියමින් කණ්ඩායම්වලට ගී හදමින් ජීවත් විය.

එමෙන්ම මේ ගීය නිසා දේශපාලන භූමියේද කරක් ගසා දේශපාලු චරිත චිත්‍රපට/ටෙලිනාට්‍යවල හා වෙළඳ දැන්වීම් රැසක රඟමින් වෙනස් වීරත්වයකින් සමාජගත වන්නට සුනිල් පෙරේරාට හැකි විය.

වෙනම ආරක් - වෙනම පාරක් ඔහුට හැදුණේය. එම පිනද මටම යයි සිතා සැනසෙන ලෙස මිතුරියක් ළඟදී මට කීවාය. හෙට ජීවත් වන්නට ලැබේදැයි සැක සහිත " කොරෝනා ලෝකයේ "දැන් මේවා ගැන කම්පා වී පලක් නොවන බවද සැබෑවකි.

අපි අපි කරන හොඳ නරක රැගෙන අපද යා යුතුය.

සිංඤෝරේ ගීය" ගැන පසුගියදා විවිධ සාවද්‍ය දේ පළ වූ නිසා මේ කරුණු ලිවිය යුතු යයි සිතුණ බැවින් සටහනක් තැබුවා පමණි. නික්‌ම ගිය සුනිල් පෙරේරා මිතුරාට දෙවිඳුන් තුළ සැනසීම පතා මෙතෙකින් නතර වෙමි..!!!

ආනන්ද පද්මසිරි
2021/ 9/24 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top