අද ලෝක ළමා දිනය ද ? ඇත්ත කතාව
Friday, 01 October 2021 - 10:10 | Views - 1,575

අද ඇත්තටම ලෝක ළමා දිනය ද ? මේ කාරණය ගැන පොඩ්ඩක් හාරලා අවුස්සලා බලන්න හිතුනේ මට උදේ පාන්දර ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන්.
කාර්යාලයෙන් ලද දුරකථන ඇමතුමේ අනෙක් කෙළවර සිටි මගේ සගයා මගෙන් විමසා සිටියේ අයියේ අද ඇත්තට ම ලෝක ළමා දිනය ද.
මම හොයලා බැලුවම යුනිසෙෆ් එක ලෝක ළමා දිනය කියලා කියන්නේ නොවැම්බර් 20 වනදාට.
මේ කාරණයත් සමඟ අවදි වුනු මම මේ ලෝක ළමා දිනය ගැන අවුල මොකක්ද කියලා හොයාගෙන මේ සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කරගැනීමක් සිදුකර ගතයුතුයි කියන තීරණයට එළඹෙනවා.
අන්තර්ජාලය පිරික්සීමේදී වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම අද වනවිට ලෝකයේ විවිද රටවල් වසරේ මාස 12 පුරාම විවිද දින වලදී සමරන බව දකින්නට ලැබුනා.
එසේ නම් ඔක්තෝම්බර් පළමුවනදා ශ්‍රී ලංකාව සමරණ ළමා දිනය ඇත්තටම ලෝක ළමා දිනයද ?
ශ්‍රී ලංකාවත් සමඟ ලෝක ළමා දිනය සමරන්නේ තවත් රටවල් දෙකක් පමණයි.
ඒ ලෝකයේ අනෙක් කෙලවරේ සිටින දකුණු ඇමෙරිකානු රටවල් දෙකක් වන ගෝතමාලාව සහ එල් සැල්වදෝරයයි.
ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබ ඇත්තේ 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදායි.
එදින පටන් ලොව බොහෝ රටවල් තමන්ට ගැලපෙන ලෙස විවිද හේතු කාරනා මත ලෝක ළමා දිනයේ ඉලක්කම මාරුකර ගනිද්දී ශ්‍රී ලංකාව මුළු ලොවම එක්ව සැමරූ ඔක්තෝම්බර් මස පළමු වන දින ලෝක ළමා දිනය ලෙස සැමරීමට තීරණය කරනවා.
ලෝක සිතියම දෙස වැඩිදුරටත් අවදානය යොමුකරද්දී වැඩිම රටවල් සංඛ්‍යාවක් ලෝක ළමා දිනය සමරන්නේ ජුනි මස පළමු වනදායි.
එදින ලෝක ළමා දිනය සමරන රටවල් සංඛ්‍යාව හරියටම 50 ක්.
මෙම රටවල් අතරට පැරණි සෝවියට් සමාජවාදී කඳවුරේ සිටි සෝවියට් රුසියාව,තජිකිස්ථානය,උස්බෙකිස්තානය,යුක්රේනය,සර්බියාව,කසකස්තානය, බෙලරූසය, ආදී රටවල් මෙන්ම සමාජවාදී කඳවුරේ ම පසුවන චීනය, උතුරු කොරියාව, වියට්නාමය, නැගෙනහිර ටිමෝරය, රුමේනියාව, පෝලන්තය ආදී රටවල් අන්තර්ගතයි.
ඒ හැරුණු විට ජර්මනිය සහ පෘතුගාලයද මෙම දිනයේ දී ළමුන් වෙනුවෙන් වූ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
මේ අතර ළමුන් සඳහා ම වෙන් වූ ජාත්‍යන්තර යුනිසෙෆ් සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලෝක ළමා දිනය වන්නේ නොවැම්බර් 20 වනදායි.
එදිනට ලෝකයේ ළමුන් ගැන හිතන රටවල් ගණන 28ක්.
මුළු ආරාබි ලෝකය ම එදින ලෝක ළමා දිනය සමරද්දී මේ ලැයිස්තුවේ එදිනට ලෝක ළමා දිනය සමරන සුවිශේෂී රටකුත් අන්තර්ගතව තිබෙනවා.
ඒ ෆින්ලන්තයයි.
ෆින්ලන්තය නොවැම්බර් 20 වනදා පමණක් නොව වසරේ දින 365 පුරාම ළමුන් රජුන් ලෙස සලකන රාජ්‍යයක්.
ළමා පරපුරට ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය දායාද කර ඇති ෆින්ලන්තය ලොව සතුටින් ම වාසය කරන රටවැසියන් සිටින රාජ්‍යය ලෙස ද සැලකෙනවා.
අප අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව ලෝක ළමා දිනය සමරනු ලබන්නේ නොවැම්බර් මස 14 වනදාටයි.
ලෝක පොලිස්කාරයා වන අමෙරිකාව ජුනි මාසයේ දෙවැනි ඉරිදාව ළමුන් වෙනුවෙන් වෙන්කර ඇති අතර කලක් හිරු නොබසින අධිරාජ්‍යය ලෙස සැලකුණු මහා බ්‍රිතාන්‍යය ළමුන් වෙනුවෙන් වැඩි සැලකිලි දැක්වීම සඳහා වෙන්කර ඇත්තේ මැයි මාසයේ දෙවන ඉරිදා දිනයයි.
ලොව ළමා පරපුර වෙනුවෙන් මහත් අවධානයක් යොමුකරන රටක් ලෙස නමක් දිනාගෙන ඇති ජපානය ලෝක ළමා දිනය සමරනු ලබන්නේ මැයි මස 05 වනදායි.
මේ අතර ලොව හොඳම රටවල් වර්ගීකරණය කරනා වෙබ් සමීක්ෂණයන්ට අනුව දරුවන් ඇතිදැඩි කිරීම සඳහා ලොව හොඳම රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවන්නේ ඩෙන්මාර්ක් රාජ්‍යයයි.
මේ ලැයිස්තුවේ දෙවන ස්ථානය ස්වීඩනයට හිමිවන අතර එහි තුන්වන ස්ථානයේ පසුවන්නේත් තවත් ස්කැන්ඩිනේවියානු රාජ්‍යයක් වන නොර්වේ රාජ්‍යයයි.
සමස්තයක් ලෙස ගත්කළ දරුවන් ඇතිදැඩි කිරීමට ලොව හොඳම වර්ගීකරණයේ ඇති රටවල් 10 අතරින් 7ක් ම ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන්.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ලෝක ළමා ප්‍රඥාප්තිය පිළිගත් රටවල් 194 න් එක් රාජ්‍යයක් දකුණු ආසියානු කලාපයේ ළමුන් වෙනුවෙන් හොඳම අධ්‍යාපනය පහසුකම් සලසන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියද තවත් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් සිදුකළ යුතු කාර්යභාරයන් බොහෝමයි.
රටකරවන ඇත්තන් වරින් වර මහජනතාව ඉදිරියේ දිගහරින හරසුන් බොරු ප්‍රතිඥා ප්‍රලාප වෙනුවට අපගේ අනාගතය භාරගැනීමට සිටිනා දරු පරපුර වෙනුවෙන් දැනෙන යමක් සිදුකළ යුතු කාලය මේ වනවිටත් පසුව ගොස් ඇතත් තවමත් අප ප්‍රමාද නැති බව අපගේ හැඟීමයි.
Share This Article