රජයේ ඉඩම් කොල්ලයක් නැවැත්වීමට නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වෙයි
Tuesday, 28 September 2021 - 11:04 | Views - 294
දේශපාලන හිතවත්කම් මත පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට සංවර්ධනය කිරීම සඳහා පවරා දී තිබූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් යළි නිවාස සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබෙනවා.

අදාළ පෞද්ගලික සමාගම විසින් ගිවිසුම්ගත කරුණු උල්ලංඝණය කරමින් කටයුතු කර තිබීම හේතුවෙන් නීතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුවයි අදාළ පවරා ගැනීම සිදු කර ඇත්තේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි පර්චස් 214ක මෙම භුමියේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිම සඳහා එල්.ඇන්ඩ්.ටී යටිතල පහසුකම් සංවර්ධන පෞද්ගලික සමාගමට පවරා තිබෙන්නේ කැබිනට් අනුමැතියක් ද සහිතව යි.

කෙසේ වෙතත්, අදාළ පෞද්ගලික සමාගම වසර 5ක් තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් එම භූමියේ සිදු කර නැහැ.

මේ අතරතුර, එල් ඇන්ඩ් ටී යටිතල පහසුකම් සංවර්ධන පෞද්ගලික සමාගම විසින් අදාළ ඉඩමේ වෙනත් ව්‍යාපෘති සිදු කරගෙන යාමට කුප්‍රකට ලෙස ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් නම් පෞද්ගලික සමාගමකට නිතිවිරෝධී ලෙස පවරා තිබෙනවා.

සංවර්ධනය කිරීමට නො හැකි නම් ඉඩම නැවත රජයට භාර දීම සිදු කළ යුතු ව තිබුණත් ඒ පිළිබඳ සාකච්ඡාව වැලි අතරේ සඟවමින් අනියම් ලාභ ලැබීමට මෙමඟින් අවස්ථාව හිමිකර දී තිබුණේ, ඇතැම් දේශපාලනඥයින්ගේ ආශිර්වාදය ද සහිතව යි.

මේ අතර, මෙම අගනා භූමිය පිලිබඳ සාකච්ඡාව යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව 2016 වසරේ දී නැවත කරලියට පැමිණෙනවා.

එහිදී 2006 දී තක්සේරු කළ වටිනාකමටම, තවත් වසර 5ක් සඳහා නැවතත් නීතිවිරෝධී ආකාරයට ලබාගත් සමාගමටම මෙම භූමිය සංවර්ධනය සඳහා යළි පැවරෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවා මවිතයට පත් කරමින්.

ඒ සඳහා ද කිසිදු කැබිනට් අනුමැතියක් ලබාගෙන නැහැ.

වසරින් වසර නිකරුනේ ගතවී ගියත් කිසිදු වටිනාකමක් එක් කිරීමට නො හැකි වූ මෙම ඉඩම නැවත රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වන්නේ ඉන් අනතුරුවයි.

ඒ අනුව නිවාස අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

ඉඩම පිළිබඳ ඇති සියලු‍ ගිවිසුම් පරීක්ෂා කළ නීතිපති දෙපාර්තමේන්තුව නිවාස අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ, අදාළ ගිවිසුම් අවලංගු කර ඉඩම නැවතත් අධිකාරියට පවරා ගන්නා ලෙසට යි.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අදාළ ඉඩම පවරා ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, මෙම අත්පත් කරගැනීමට ඒ වනවිට එම භූමියේ රැඳී සිටින ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම චෝදනා කර තිබුණේ කිසිදු පෙර දැනුම් දීමක් සිදු නො කොට කළ මේ අත්පත් කරගැනීම නීතිවිරෝධී බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නිවාස සංවර්ධන අධිකාරිය පැවසූවේ මෙම අත්පත් කරගැනීම පිළිබඳව අධිකාරිය නීතිමය වශයෙන් ගිවිසුම්ගත මුල් සමාගම වූ එල් ඇන්ඩ් ටී යටිතල පහසුකම් සංවර්ධන පෞද්ගලික සමාගම දැනුවත් කර ඇති බවයි.

ඉඩම දැනට භුක්ති විඳින ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම සමඟ නිවාස අධිකාරියට කිසිදු ගනුදෙනුවක් නො මැති බව නිවාස සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

මෙම ඉඩම සහ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු අතර ඇති සමීප සම්බන්ධතාවක් පිළිබඳව ද ආන්දෝලනාත්මක පුවත් එකල පැතිර ගියා.

එම පුත්‍රයා සිය දේශපාලන සබඳකම් යොදාගෙන මෙම ඉඩම ඇපයට තබා බැංකු දෙකකින් විශාල ණය මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වූ අතර මේ සම්බන්ධ නඩුවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ මේ වනවිටත් විභාග වෙමින් පවතිනවා.

කොළඹ මධ්‍යයේ පිහිටි අධික වටිනාකමකින් යුතු මෙවැනි භූමි කොටස් කිසිදු සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් භාවිතා නො කර විනාශ වීමට හැරීම කෙතරම් අපරාධයක් ද?

මෙවැනි වටිනාකමින් ඉහළ රජයේ ඉඩම්, සංවර්ධනය කිරීමේ මූවාවෙන් දේශපාලන හිතවත්කම් මත සිය මිතුරු ව්‍යාපාරිකයින්ට පවරා දීමේ කූඨ ව්‍යාපාරවලට තිත තැබීම බලධාරීන් සතු මඟහැරිය නො හැකි වගකීමක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top