ගෝලීය වසංගතයෙන් පීඩාවට ලක්වූ ආර්ථිකය පණ ගැන්වීමට ජාත්‍යන්තර සහය අවශ්‍යයි (Video)
Thursday, 23 September 2021 - 9:13 | Views - 562



ගෝලීය වසංගතයේ ආර්ථිකමය බලපෑමෙන් පීඩාවට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවත්නා රටවලට එම තත්ත්වයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුව අමතමින් ප්‍රකාශ කළා.

එහි 76 වන සැසිවාරය ඊයේ අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ වසංගතයේ බලපෑම 2030 තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමද අවධානමට ලක්කර ඇති බවයි.

කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා ලක් රජය ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරට තුළ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව කියා සිටියා.

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සියලු දෙනාටම පාහේ මේ වනවිට එන්නත් ලබාදී අවසන්.

ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට අවුරුදු 20 ට වැඩි සෑම දෙනාට පූර්ණ වශයෙන් එන්නත් ලබාදීමට නියමිතයි.

නුදුරු අනාගතයේදී අවුරුදු 15 ට වැඩි දරුවන්ටද එන්නත් ලබාදීම ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එන්නත්කරණ ක්‍රියාවලියේ වේගවත් භාවයට මුල් වූයේ සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයින් මෙන්ම ජනතා නියෝජිතයින් අතර වූ සම්බන්ධීකරණය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම වසංගත තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ද්විපාර්ශවික සහ බහුපාර්ශවික ආයතනවලින් සපයන ලද මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්තූතිය පළ කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. ඛේදජනක ජීවිත හානිවලට අමතරව මෙරට ආර්ථිකයට ඉන් එල්ල වී ඇති බලපෑම අතිමහත්.

රට වසා දැමීම සහ සංචරණ සීමා පැනවීම මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීම පහළ වැටීම සහ මන්දගාමී ගෝලීය වර්ධනයද මෙරට ආර්ථිකයට බලපා තිබෙනවා.

මෙරට ජනගහනයෙන් 14% ක් පමණ යැපෙන සංචාරක ක්ෂේත්‍රය කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස බිඳ වැටී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නේ.

මේ නිසා මෙරට ආර්ථිකය යළි පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනු ලබනවා.

ආයෝජන ආකර්ශනය කර ගැනීමට සහ වෙළඳ සබඳතා පුළුල් කර ගැනීමට මෙන්ම මෙරට භූ උපාය මාර්ග පිහිටීම, ශක්තිමත් යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බලකාය එහිදී උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට අදහස් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර එය ජය ගැනීමට නම් විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණුවලදී ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය වන බව ජගත් මහා මණ්ඩලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ශ්‍රී ලංකාව ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද විනාශයක් අත් වින්ඳා.

එමෙන්ම, ඊට පෙර 2009 වසර දක්වා ශ්‍රී ලංකාව වසර 34 ක බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් පීඩා විඳි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පසුගිය අඩසියවසේදී ප්‍රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාවේ ජීවිත මෙන්ම දශක ගණනාවක සමෘද්ධියද අහිමි කර තිබෙනවා.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා ලක් රජය කැපවී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

එමෙන්ම, කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන තුළින් වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අවශ්‍යයි.

ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සඳහා සාධාරණත්වයකින් යුත් සහභාගීත්වය එලෙසින්ම සහතික කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top