නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට දීර්ඝ කළ යුතු බව රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි (Video)
Thursday, 02 September 2021 - 11:31 | Views - 1,613

කොරෝනා වෛරස පාලනය සඳහා භාවිත කරන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මගින් ඇති කරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇති කරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකට වඩා වැඩි බව පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ පවතින තත්වය අනුව තවත් සති දෙකකටවත් සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බවයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ කොරෝනා වෛරස පාලනය සඳහා භාවිත කරන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මගින් ඇති කරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇති කරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකට වඩා වැඩි බවයි.
එම එන්නත් දෙකට අදාළව බෙල්ජියමේ සිදුකරන ලද අධ්‍යයනයක් උපුටා දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
සති හයකට පෙර කොවිඩ් ආසාදිතව සිටි ගැබිණි මාතාවක් පුත්තලම මූලික රෝහලේදී සාර්ථක සිසේරියන් සැත්කමකින් අනතුරුව තුන් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.
එම දරුවන් තුන්දෙනා ඉතා නිරෝගී තත්වයේ පසුවන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.
මේ අතර රට වසා තැබීමෙන් පමණක් පවතින තත්වය පාලනය කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
පවතින ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් කිසිදු පළක් නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.
කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ සංචරණ සීමා තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
Share This Article