පොලිස් ස්ථානයක් තුළ දී සැමියා විසින් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල - කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ගාල්ල - උඩුගම පොලිස් ස්ථානය තුළ අදාල පුද්ගලයා විසින් ඊයේ (21) උදෑසන මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
පවුල් ආරවුලක් හේතුවෙන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් දෙදෙනාට කළ කැඳවීමක දී මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්.
මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු ද සිටින අතර බිරිද 28 හැවිරිදි වියේ සහ සැමියා 32 හැවිරිදි වියේ පසුවන්නන්.
ඇසිඩ් ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ද පිළිස්සුම් තුවාල ලබා ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.
දෙදෙනා අතර කලක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාව නිවසෙන් පිටව ගොස් වෙනත් පුද්ගලයෙකු සමඟ රැඳී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් සැමියා විසින් උඩුගම පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව අදාල බිරිඳ එදින පස්වරුවේ පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදී ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේදී අදාල පැමිණිල්ල විභාගයට ගැනීමට පසු දින (ඊයේ 21) උදෑසන පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
ඒ අනුව අදාල සැමියා සහ බිරිඳ ඊයේ (21) උදෑසන උඩුගම පොලිසියට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇසිඩ් බෝතලයක් සඟවාගෙන ආ සැමියා බිරිඳට ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.