ගුරුකමෙන් ජීවිතය හැරගිය පාසල් දැරිය
Monday, 01 March 2021 - 9:32 | Views - 556

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් වේවැල්වලින් සිදුකළ පහරදීම්වලින් දෙල්ගොඩ - කඳුබොඩ ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ඇයගේ මව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මව ද අදාළ දැරියට පහර දී ඇති බවට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වීමත් සමඟයි.
අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුරදී මෙම දැරිය මිය ගොස් තිබුණේ ඊයේ දිනයේදීයි.
පසුව අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව හෙළි වුණේ අමනුෂ්‍ය බලවේගයක් ආරූඩ වී ඇතැයි පවසමින් අදාළ දැරිය ඇයගේ මව විසින් කඳුබොඩ ප්‍රදේශයේම සිය නිවස ආසන්නයේ ශාන්තකර්ම සිදුකරන කාන්තාවක් වෙත රැගෙන ගොස් ඇති බවයි.
එහිදී අදාළ කාන්තාව විසින් දැරියට තෙල් සාත්තුවක් සිදුකර වේවැල්වලින් පහරදී ඇති බවටයි වාර්තාවන්නේ. අදාළ ශාන්තිකර්මය දින 3 ක් පුරා සිදුකර ඇති අතර, පහරදීම් හේතුවෙනුයි දැරිය සිහිසුන්ව ඇද වැටී ඇත්තේ.
පසුව රාත්‍රියේම අදාළ දැරිය, ප්‍රදේශවාසීන් විසින් බියගම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගෙන ගොස් ඇති අතර, එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් මිය ගියේ කඳුබොඩ ප්‍රදේශයේම පදිංචි ෆාතිමා රිෆ්ෆා නැමති 9 හැවිරිදි දැරියක්.
මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද දින එම ස්ථානය පරීක්ෂාවකට ලක් කර ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ වේවැල් පහකින් අදාළ දැරියට පහරදී ඇති බවයි. එම ස්ථානයේදී දැරියගේ මව ද ඇයට වේවැලකින් පහර දී ඇති බවට හෙළි වී තිබෙනවා.
Share This Article