දහසක් ඉල්ලන වතු කම්කරුවෝ..,
Friday, 05 February 2021 - 10:00 | Views - 272

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද දිවයින පුරා වතු කම්කරුවන් සංකේත වර්ජනයක නිරත වනවා.
මෙම වර්ජනය සංවිධානය කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධවයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රජය, වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා වට 15ක් පමණ පවත්වා ඇති නමුත් ඒ සියල්ල අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීම අපහසු කරුණක් බවයි.
ඒ වෙනුවට මූලික වැටුප රුපියල් 700යේ සිට 725 දක්වා වැඩි කිරීමටත්, ඉතිරි මුදල දීමනා වශයෙන් ලබාදීමටත් වතු හාම්පුතුන් යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, එලෙස ලබාදීමේදී වතු කම්කරු දෛනික වැටුප නිශ්චිතව රුපියල් දහසක් බවට පත්වීම සිදුවන්නේ නැහැ.
මෙවැනි වාතාවරණයක් තුළ වතු කම්කරු වැටුප පිළිබද තවදුරටත් පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්.
එවන් පසුබිමක් තුළ එළඹෙන 8 වන දා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැටුප් පිළිබද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මේ අතර, දෙමළ ජාතික සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව අම්පාරෙන් ආරම්භ කළ විරෝධතා රථ පෙළපාලිය සහ පා ගමන 3 වන දිනටත් අද ක්‍රියාත්මකයි.
අද පෙරවරුවේ එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්.
එය හෙට දිනයේ යාපනය නගරයෙන් අවසන් වීමට නියමිතයි.
නැගෙනහිර පළාත සහ උතුර පළාත තුළ විරෝධතා සිදුකිරීම වළක්වාලන අධිකරණ නියෝගද ලබාගෙන ඇති පසුබිමකයි ඔවුන් මෙලෙස විරෝධතා සිදු කරන්නේ.
මේ අතර ඊයේ පැවති විරෝධතාවට ත්‍රිකුණාමලයේදී දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ද සහභාගි වුණා.
Share This Article