පස් වසරකට පසු දෑවැද්දක් ඉල්ලූ , අපුරූ මගුල..,
Friday, 29 January 2021 - 13:16 | Views - 606

කිසිම දෑවැද්දක් එපා යැයි පවසා මීට වසර පහකට ඉහතදී පිරිමි දරුවාට කැන්දාගෙන ආ මනමාලියගෙන් ඊයේ පෙරේදා මොනවාද ගෙනාපු දෑවැදි යැයි විමසා සිටි අපූරු කාන්තාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට ආසන්න ගමකි. මේ ගමේ මීට වසර දෙකකට පමණ ඉහතදී ගුරු වෘත්තියේ සේවය කොට විශ්‍රාම ලැබූ කාන්තාවක් සිටියි. මේ කාන්තාවට පිරිමි දරුවන් දෙදෙනෙක් හා එක් ගැහැනු දරුවෙක් සිටියි. සැමියා ද විශ්‍රාමිකයෙකි. මෙම විශ්‍රාමික කාන්තාවගේ මවුපියන් මිය යෑමෙන් පසු ඔවුන් භුක්ති විඳිමින් සිටි නගරය ආසන්නයේ ඉඩම් කඩම් ඇයට හිමි වුවාය. එම ඉඩම්වල වටිනාකම කෝටි ගණනකි.
මෙම කාන්තාවගේ වැඩිමල් පිරිමි දරුවා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරයි. එම ඇඟලුම් ආයතනයේ සේවය කරමින් සිටින අවස්ථාවේදී තරුණයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණියක් හඳුනා ගත්තේය. දරුවාගේ කල වයස සම්පූර්ණ වීම ගැන සිතූ විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ සැමියා දෑවැදි කිසිවක් අවශ්‍ය නැති බවත් තියෙන ඉඩම් කඩම් රැක බලා ගෙන ජීවත් වීමට හැකි තරුණියක් ප්‍රමාණවත් යැයි පවසා තරුණියගේ මවුපියන්ද දැනුවත් කර දෙපාර්ශ්වයේම කැමැත්ත පරිදි විවාහ මංගල්‍යය පැවැත්වීමට සූදානම් කෙරිණි. විවාහ මංගල්‍යය පැවැත් වූයේ මීට වසර පහකට පමණ ඉහතදීය.
විවාහ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් පළමු දින දෙහිඕවිට ප්‍රදේශයේදීත්, දෙවැනි දින වූ මනාලයාගේ පාර්ශ්වයේ උත්සවය පින්නවල ප්‍රදේශයේ උත්සව ශාලාවකත් ජයටම ගැනීමට කටයුතු සිදු කර තිබිණි.
කිසිම දෑවැද්දක් අවශ්‍ය නැති බව මනාලයාගේ මව ප්‍රකාශ කිරීම හේතුවෙන් එදා මනාලිය මනාලයාගේ නිවෙසට පැමිණෙන අවස්ථාවේදී රැගෙන ආවේ තමන්ට අවශ්‍ය කරන ඇඳුම් පැලඳුම් ටික පමණි. මනාලයාගේ නිවෙසට කැන්දාගෙන ආ දවසේ සිට යළි මනාලිය සුපුරුදු පරිදි රැකියාවට යෑම ද මනාලයාගේ මව විසින් නවතා දැමුවාය. ගෙදර ෙදාරේ වැඩ ටික කර ගනිමින් ජීවත් වෙන ලෙස ද ඇය කිහිප වරක් මනාලියට දැන් වූවාය. ඒ ගැන සිතූ මනාලිය රැකියාවට යෑම ද නවතා දැමුවාය.
දැන් මනාලියට වයස අවුරුදු 3ක එක් පිරිමි දරුවෙක් සිටියි. තවත් දරුවෙක් ඇය මසකින් හෝ දෙකකින් බිහි කිරීමට සූදානම්ව සිටියි. පිරිමි දරුවා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයේ රැකියාවට පිටත්ව ගියාට පසු නැන්දම්මා වූ ගුරුවරිය ලේලියගේ අඩුපාඩු කියමින් දෙදෙනා අතර කලක සිට මත ගැටුම් දිනෙන් දින උත්සන්න විය. ඒ මනාලිය කෑවත් හොඳ නැත. අමාරුවෙන් සැමියාගේ හා ඇයගේ රෙදි ටික සේදුවත් හොඳ නැත. අමාරුවට නිදා ගත්ත ද නැන්දම්මාට හොඳ නැත. ගෙනාපු දෑවැද්දකුත් නැතැයි පවසා ද ඇයට ෙදාස් කියන්නට වූවාය.
මනාලිය දින කිහිපයක් සිය සැමියාට මේ බව නොදන්වා සිටිය ද එන්න එන්නම දෑවැදි නොගෙනාවැයි පවසා ෙදාස් පැවරීම සම්බන්ධයෙන් කනගාටුවට පත් ගැබිනි මව දිනක් නැන්දම්මාගෙන් එන ප්‍රශ්න වැඩිවීම හේතුවෙන් ඇය සියල්ල සිය තරුණ සැමියා සමඟ ප්‍රකාශ කළාය. පසුව ඔහු ද සිය මවට මේ සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කර දුන්නද සත පහකට ගනන් ගත්තේද නැත. පසුව බැරිම තැන දිනක් ඇඳුම් ටිකක් බෑගයකට දමාගෙන පිරිමි දරුවාත් සමඟ ගැබිනි මව යළි මවුපියන් ළඟට යන බව සැමියාට දැන්වීමෙන් පසුව ඔවුන් කුලී පදනම මත ගත් නිවෙසකට මේ වන විට ගොස් ඇති බව ද වාර්තා වෙයි.
දමුණුපොළ - චමින්ද ජයලත්
මව්බිම
Share This Article