පානදුරේ වෙඩික්කරුවන්ට වැටුණු මාංචු..,
Wednesday, 27 January 2021 - 9:11 | Views - 1,157

සිද්ධියට සැකපිට සැකකරුවෙක් අල්ලයි...
තවත් කණ්ඩායම් තුනක් විමර්ශනවලට යොදවලා....!!
පානදුර-පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් වැඩිදුර විමර්ශන සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
UPDATE:
පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 25දා උදෑසන දෙනෝදාහක් බලාසිටියදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා එසේ මරාදමන්නට ඇත්තේ ඔහු විසින් ලබාදුන් ‘ටිප්’ එකක් නිසා බවට තොරතුරු පොලිසිය වෙත මේ වනවිටත් ලැබී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ මියගිය පුද්ගලයා ධීවර රැකියාවේ නිරත වන අයකු බැවින් ඔහු ධීවර රැකියාව කරන අතර ඉන්දියාවේ සිට මෙරටට ප්‍රවාහනය කරන ලද කේරළ ගංජා ජාවාරමටද සම්බන්ධ වී ඇත.
එම කේරළ ගංජා මෙරටට ගෙන ඒමේ එක් එක් වාරයක් සඳහා ගංජා හිමිකාර පාර්ශ්වය මොහුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදෙන බවට තොරතුරු ලැබී තිබේ.
එහෙත් මෑතකදී මොහු විසින් එලෙස මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවෙන් ගෙනැවිත් දුන් කේරළ ගංජා තොගයකට ගෙවිය යුතු මුදල් ගංජා හිමිකාර පාර්ශ්වය විසින් ලබාදී නැත. මේ සම්බන්ධයෙන් ඔහු එම හිමිකරුවන්ගෙන් තමාගේ කොටස ඉල්ලා ඇතත් ඔවුන් එම මුදල මොහුට ලබාදී නැත.
පසුව මේ ගැන උරණ වී සිටි ඔහු හිමිකාර පාර්ශ්වයේ කේරළ ගංජා තොගයක් ආරක්ෂක අංශවලට අල්ලාදීම හෝ ඒ සඳහා ගත් උත්සාහයක් මෙම ඝාතනයට හේතු වූයේ දැයි පොලිස් විමර්ශන කණ්ඩායමේ සැකයට භාජන වී තිබේ.
එසේත් නැත්නම් මුහුදු මාර්ගය ඔස්සේ ඔහු විසින් ගෙනෙන ලද කේරළ ගංජා තොගයක් ‘ගල්’ කිරීම නිසා මෙම වෙඩි තැබීම ඔහුවම ඉලක්ක කර සිදුවී දැයි පොලිසියට සැක පහළ වී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹී ඇති අතර වෙඩි පහරින් මැරුම් කෑ පුද්ගලයා සමඟ සිටි තරුණයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී. ඔහුද අධිකරණය මඟින් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහළ තැනැත්තකු බව කියන පොලිසිය ඔහුට පෙර වැරැදි පවා ඇතැයි සඳහන් කළේය.
දැනට ලැබී ඇති මෙවන් තොරතුරු මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට විමර්ශන පවත්වාගෙන යන අතර ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන මියගිය තැනැත්තා මාස කිහිපයකට පෙර පානදුර ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේදී ලබාගෙන තිබූ ණය නිසා බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර පානදුර පල්ලියමුල්ල හන්දියේදී දෙනෝදහසක් දෙනා බලා සිටියදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර ඇති වූ ප්‍රතිඵලයක් බවට මේ වනවිට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (26දා) පැවැසීය.
ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවැසුවේ එම ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට ඝාතනය සිදුවූ පානදුර උතුර පල්ලියමුල්ල හන්දියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර උතුර පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය හා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කරගැනීමට හැකි වී ඇති බවත් දින කිහිපයක් තුළ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මේ අතර තුවක්කුකරුවන් කොටුකර ගැනීම සඳහා ඉදිරි විමර්ශන කළ යුතු ආකාරය පිළිබඳ විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමේ උපදෙස් ඊයේ (26දා) උදෑසන බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබාදුන් අතර එහිදී සැකකරුවන් දෙදෙනා කොටුකර ගැනීම සඳහා ගත යුතු පියවර කණ්ඩායම් අතර බෙදාදී ඇති බවත් කියැවේ.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත පානදුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉලයසිංහ මහතාගේ මෙහෙයවීම මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක්, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
කීර්ති මෙන්ඩිස්, කොළඹ - ජයසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Share This Article