"එන්නත" දෙන්නට පෙර , දැනගනිමු "එන්නතේ" සුළමුල ..,
Monday, 25 January 2021 - 16:15 | Views - 1,214

කෝවිඩ් 19 ට එරෙහිව තනා ඇති එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිත කෙරෙමින් පවතී. මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සහ උපදෙස් පළ වෙමින් පවතින අතර ඇතැම් විට ඒවා නිරවුල් නැත. එන්නතක් පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමෙන් එම ව්‍යාකූලතා අවම කර ගත හැකි වනු ඇත.
එන්නතක් යනු කුමක්ද?
එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරය සූදානම් කිරීමයි.
එන්නතක අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසකි. නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතකි.
එය ශරීරගත කළ විට ආක්රමණිකයෙකු ඇතුළු වී ඇති බව සිරුර හඳුනා ගෙන ඊට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වේ. එහිදී ඊට අදාළ ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවේ.
එම ක්‍රියාවලිය සිදු වීමෙන් පසුව එකී ජීවියා නැවත ශරීරගත වුවහොත් එම ආක්රමණිකයා පහසුවෙන් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් ය. ඊට අවශ්‍ය සෙබළුන් ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහ ද සිරුරේ පවතී.
එහිදී ඔබට සම්පූර්ණයෙන් ම රෝගය වැළඳීම වලක්වන අතර එම ආගන්තුක ජීවියාගෙන් දරුණු බලපෑමක් සිදුවීමට පෙර එය විනාශ කර දැමීමට ඔබේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් ලැබෙනු ඇත.
එවැනි එන්නතක් ගැනීම මගින් ඇතැම් උදවියට පමණක් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකිය. එය තාවකාලික උන ගතියක් හෝ එන්නත ලබා දුන් ස්ථානයේ සුළු තඩිස්සියක් වැනි දෙයකි.
දැන් එම රෝගය සඳහා අවශ්‍ය කරන ප්‍රතිදේහ ඔබේ ශරීරයේ වර්ධනය වී පවතී. එන්නත් යනු ඉතා ශක්තිමත් දෙයක් බව එක්සත් ජනපදයේ රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය (CDC) පවසන්නේ එබැවිනි. රෝගයක් සුව කිරීමට පවතින ඔසුවක් මෙන් නොව; එන්නතකින් එම රෝගය වැළඳීම වලක්වයි.
එන්නත් ආරක්ෂාකාරී ද?
මුලින් ම එන්නත් භාවිතා කර ඇත්තේ චීනයේය. ඒ දසවන ශතවර්ෂයේදී ය. නමුත් මේ පිළිබඳව ලොව පුරා කාගේත් අවධානයට ලක් වූයේ, සුළු බලපෑමක් ඇතිකරවන 'ගව වසූරිය' රෝගය මගින්, වසූරිය රෝගයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක් ඇතිකරවිය හැකි බව එඩ්වර්ඩ් ජෙනර් විසින් 1796 වසරේ දී සොයා ගනු ලැබීමෙන් අනතුරුවය.
ඔහු එම සිද්ධාන්තය පරීක්ෂාවට ලක් කළේය. වසර දෙකකට පසුව එම පර්යේෂණයේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණි.
ඉංග්‍රීසි භාෂාවෙන් එය වැක්සින් (vaccine) ලෙසින් නම් කෙරුණේ එතැන් පටන් ය. එය ලතින් භාෂාවෙන් ගවයා හැඳින්වීමට යෙදෙන "vacca" යන වදන අනුසාරයෙන් බිහි වූ නාමයකි.
එන්නත සොයා ගැනීම නවීන වෛද්‍ය විද්‍යාවේ ඉහළම ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට ලක්වේ. එමගින් රෝග 20කට ගොදුරු වී සෑම වසරකම මියයමින් පැවතුණු ජීවිත මිලියන දෙක තුනක් බේරා ගැනීමට හැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම එන්නත් වෙළඳපොළට මුදා හැරීමට පෙර දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි. පළමුව ඒවා රසායනාගාරය තුළ පරීක්ෂාවට ලක් කෙරේ. දෙවනුව සත්ව දේහ මත පර්යේෂණයට භාජනය වේ. මිනිස් දේහ මත සායනික පරීක්ෂාවට ලක් වන්නේ ඉන් අනතුරුවය.
ඖෂධ නියාමන අධිකාරීන් මගින් අනුමැතිය ලැබෙන්නේ සායනික පරීක්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵල මතය.
සෑම ඖෂධයකම පවතින්නාක් සේ එන්නතක ද අවදානමක් පවතී. නමුත් ඉන් ලැබෙන වාසිය හා සලකා බලන විට එම අවදානම නොගිනිය හැකි තරම් අවමය.
උදාහරණයක් ලෙස දක්වතොත්, මීට පෙර පරම්පරාවට ළමා කාලයේ දී වැළඳුණු බොහොමයක් රෝග වත්මන් ළමා පරපුරට වැළඳෙන්නේ ඉතා අඩු මට්ටමකිනි. ඒ එන්නත් ලබා දීම නිසාය. අතීතයේ මිනිස් ජීවිත මිලියන සිය ගණනක් බිලිගත් වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කිරීමට හැකි වූයේ ද එන්නත් ලබා දීම නිසාය.
නමුත් සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා බොහෝ විට දශක ගණනක් ගතවනු ඇත. පෝලියෝ රෝගය අප්‍රිකාවෙන් සදහටම තුරන් වූ බව නිවේදනය වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ඒ වන විට පෝලියෝ එන්නත ලොව පුරා භාවිත කිරීමට පටන් ගෙන වසර 30කට වැඩි කාලයක් ගතවී හමාරය.
කෝවිඩ් 19 හමුවේ අපගේ ජීවිත නැවත සාමාන්‍ය තත්වයට පත්කර ගැනීම සඳහා සෑහෙන පරිදි ලෝක ජනගහනයට කොරෝනා එන්නත ලබාදීමට මාස ගණනක් හෝ වසර කීපයක් ගත විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
මම කෝවිඩ් එන්නත ලබා ගත යුතුද?
එය අනිවාර්ය නොවේ. නමුත්, වෙනත් සෞඛ්‍ය හේතුන් මත හැරෙන්නට අන් සියලු දෙනා මෙම එන්නත ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.
එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පවසන්නේ මෙම එන්නත ලබා ගැනීමෙන් කෝවිඩ් 19ට එරෙහිව තමන්ට ආරක්ෂාවක් සැපයෙන අතරම අනෙක් පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට ද හැකිවන බවය. එමෙන්ම, කොරෝනා වසංගතය තත්වය නිමා කරවීම සඳහා පවතින අතිශය වැදගත් මෙවලම මෙම එන්නත බව ද ඔවුහු පවසති.
කෝවිඩ් ව්‍යාප්තවීම නතර කර ගැනීමට නම් ලෝක ජනගහනයෙන් 65%ත් 70%ත් අතර ප්‍රමාණයකට ප්‍රතිශක්තිය ඇතිවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරෝනා වෛරසයට එරෙහිව මෙම එන්නත් ඉතා කෙටි කාලයකින් සංවර්ධනය කරනු ලැබීම නිසා ඇතැමෙක් ඒ පිළිබඳව ප්‍රශ්න නගති.
ගතවූ කාලය කෙටි බව සත්‍යයකි. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම සඳහා විද්‍යාඥයෝ දිගු කාලයක් වැය කරති. නමුත් කොරෝනා වසංගතය හමුවේ සියල්ල වේගවත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් සහ සෞඛ්‍ය සංවිධාන එක්ව කටයුතු කළහ.
කෙටියෙන් කියතොත්, කොවිඩ් 19 ව්‍යාප්තිය නතර කර ගැනීමට නම් බිලියන ගණනක් මිනිසුන්ට එන්නත් ලබා දිය යුතුමය. එම ඉලක්කය සපුරා ගැනීම වේගවත් වන තරමට අප සාමාන්‍ය ජන ජීවිතයකට යළි ඇතුල්වීම ඉක්මන් වනු ඇත.
උපුටා ගැනීම - බී.බී.සී සිංහල
Share This Article