“වැඩියෙන්ම එන්නේ බේබද්දෝ... මොනා කරන්නද,
ගඳයි අප්පිරියයි කියලා අහක දාන්න බෑනේ...”
“එතන අය කිව්වෙත් ඔයාව අල්ලයි, හොල්ලයි, වද දෙයි කියලා. දෙයියනේ!!”
ගැහැනියක් ආදරේ කරන විධිය හරි වෙනස්. ඒක “එකෝමත් එක” කියලා පටන් ගන්න හැකි වුණත්, සමහරක් කල්පිත-වලත් ගැහැනු හඬා වැටෙන්නේ ඇයි කියන “හේතුව” මට හිතාගන්න බැරිවුණා.
මේ දැනුත් “රෙස්ටුරන්ට්” එකේ අඳුරට මුවා වෙච්ච “නාඳුනන්නිය”, එක “පුරාවතෘත්තයකට” පණ දෙන්න ගන්නවා. ඇගේ උණුසුම් හාදු-වලින් තෙත් වෙචච් “පපු කැබලි” ගැන ඈ අතීතාවර්ජනයක යෙදෙනවා.
“ස්පා සෙනුරි.......................... සොරි මම හිතන්නේ ඔයාට එහෙම නමක් කියන එක හෙනම අසාධාරණයි....” මම ආයෙම ඒ ගැහැනිය දිහා විස්සෝපෙන් බැලුවා. තවමත් හැඟීමක් කියන්න නොතේරෙන ඇස් බුබුළු දෙක, “සන්ග්ලාස්” දෙකකට වැහිලා ගියා.
“මම මුලින්ම ස්පා කෙල්ලක් නෙවෙයි... ඊට කලින් මම වැල්ලවත්ත පැත්තේ සැලූන් එකක ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කළා. මගේ අතින් හැඩ වෙච්ච ප්‍රසිද්ධ නිළියෝ පවා හිටියා. මම ඒ ජොබ් එකට පට්ට ආසයි. ඒක කොයි තරම් හොඳට මම කළාද කිව්වොත් මට රට යන්න පවා චාන්සස් ආවා. දරුවෝ දෙන්නව මිනිහා ළඟ දාලා ආවට මොකද මම උන් දෙන්න ගැන නොබලා හිටියේ නෑ. මාස් පතා සල්ලි යැව්වා. බලන්න යනවා. ඔහොම තමයි ජීවිතේ ගෙවුනේ....”
“සෙනුරි කොහොමද ස්පා වලට ආවේ.....?”
“ඒ ඔය ස්පා කියන වචනේ ලොකුවට ඇහෙන්නේ නැති, කවුරුත්ම දන්නේ නැති කාලයක්. මම පත්තරේක ඇඩ් එකක් දැකලා තමයි ඒ නොම්බර් එකට කෝල් කළේ. සත්තයි!! මම හිතුවේ ස්පා කියන්නේ හෙඩෙක් එකක් හදාගෙන එන උන්ගේ ඔලු අතගාලා, එක්කෝ කොන්දට තෙල් ගාලා, මසාජ් කරලා යවන එක කියලා. ඔව් ඉතින් ඇත්තටම ඒක තමයි මසාජ් කියලා කියන්නේ. ඒත් ලංකාවේ ඒක වෙනස්. මම ගියපු දවසේ මට කියපු දේවල්-වලින් මම අන්දමන්ද වුණා. සැලූන් රස්සාවෙන් අයින් වෙලා ආවෙත් මට ලොකු සැලරියක් ඕනි නිසයි. ඒත්... නාඳුනන එකෙක්ව අත ගාන එකයි, ඌව සන්තෝස කරන එකයි.. (ඒක සෙක්ස්ම නෙවෙයි.) මට කරන්න පුළුවන් කියන තැන මම හිටියේ නෑ.. ඒත් එතන අය පැහැදිලි කළා මට ලැබෙන ටිප් එක ගැන. පඩියට අමතරව ස්පාවල අය හම්බකරන්නේ ඒ ටිප් එකෙන්. ටිප් එක, එක එක ගණන්-වලට තියෙනවා. සර්විස් එක අනුව ඒක වෙනස් වෙනවා...” ඈ ඇගේ කතාවේ අවසාන හරියට එනවා කියලයි මට හිතුනේ. ස්පා ගැහැනියක්... (සමාවෙන්න!) එක්කෝ ඈට ඒ නම ගළපන්න අමාරුයි. ඈ “ස්පා ගැහැනියක්” කියනවට වඩා “පව්කාර ගැහැනියක්” කියන්න ද කියලා මට තේරුණේ නැහැ.
“මතකද ඔයාගේ පළවැනි කස්ටමර්ව?” මම නෝට් බුකියේ තවත් අලුත් පිටුවකට ආවා. ඈ යන්තම් දුව ඇවිද්දා අතීත හෙවනැළි සහ කුණාටු අතරින්...........
“අනේ ඔව්...!! මගේ මුල්ම කස්ටමර් ඉංග්‍රීසි කෙනෙක්. ඒ කියන්නේ එයාට චුට්ටක්වත් සිංහල බෑ. මම තේරෙන්නේ නැති ජොබ් එකක් කරන්න යන්නේ. මම දැනගෙන හිටියා, එක්කෝ මම අද වරද්දගත්තොත් මේ ජොබ් එක ආයෙ නෑ.. මම මේ කස්ටමර් ව සතුටු කරන්න ඕනි. එයා දැනටමත් ගාස්තුවක් ගෙවලා ඇවිත්. එයා සන්තෝස කළොත් තව තව, මට මගේ ගාස්තුව වැඩි කරගන්න පුළුවන්. (ඒ කියන්නේ ටිප් එක.) මට ඒ වෙලාවේ දහස් සංඛ්‍යාත සිතුවිලි ආවා. ඒත්...... විශ්වාස කරන්න මල්ලි.. ඒ මනුස්සයා මගේ ඇඟට අතක්වත් තිබ්බේ නෑ. මම මසාජ් එක දානකන් ම එයා නිහඬවම හිටියා. (එතන අය කිව්වෙත් ඔයාව අල්ලයි, හොල්ලයි, වද දෙයි කියලා. දෙයියනේ!! මේක මගේ වාසනාව..!!.) හැමදේම අහවර වුණාට පස්සෙ, ඒ කෙනා මට රුපියල් හාරදාහක ටිප් එකක් දුන්නා. දෙයියනේ...!! මට ඇඬුනා. ඇස්වලින් සට සට ගාලා කඳුළු වැටුණා. මගේ පළවැනි කස්ටමර්.... එයා බයවෙලා මගෙන් ඇහුවා, වයි ආ යූ ක්‍රයීන් කියලා.... මම අමාරුවෙන් හිනාවෙලා කිව්වා, සර්.... මයි නිව් ජොබ්, ප්‍රස්ට් කස්ටමර් සර් කියලා.. එයාට දුක හිතුණා. එයා මගේ ඔලුව අතගාලා මට ආශිර්වාද කළා. දන්නවද එයා කියපු දේ... ඉක්මණින් වෙන රස්සාවක් ලැබෙයි කිව්වා...”
ඈ තව ටිෂූ කඩදාසියක් සුදානම් කරගත්තා. මම ඇගේ කතාවේ අපැහැදිලි තැන් කිහිපයක් පිළිසකර කරගත්තා. ආයෙම ඈ මේ ඉසව්වට එන්න කලින්, මම ඒ බලිරූප “එපිසෝඩ්” වලට කඩාගත්තා.
“ඔයා දැන් කවදද ඕක දාන්නේ...?” ඒ, ඈ ළඟින්ම හිටපු ඇගේ මිතුරිය...
“පුළුවන් ඉක්මණින්.. බොහෝ දුරට බදාදා හෝ බ්‍රහස්පතින්දා..”
“එතකොට ඒක ගොඩක් අය කියවනවද?”
“ඔව්... ගොඩක් අය.....”

“ම්ම්ම්ම්...” ඈ නිහඬ වුණා. සෙනුරි ඇගේ ටිෂූ කඩදාසි සේරම ඉවර කරගෙන. අන්තිමට කඳුළු පිනුම් ගහපු මූණේ අවලස්සන තැන් ඈ නිය තුඩුවකින් පිරිමදින්න ගන්නවා.
“එදා මම මට දුන්නු 4000න් මුලින්ම කළේ මට කියලා ඇඳුම් ටිකක් ගත්ත එක. අදටත් මම කොටට හිරට අඳින්න ආස නෑ. ඒත් ජොබ් එකේ හැටියට අඳින්න වෙනවනේ. ඒ නිසා එදා රුපියල් 3000කම ඇඳුම් අරගත්ත එක තමා කළේ. කාලයක් එතන ජොබ් එක කරලා පස්සෙ එතැනින් ජාඇලට මාරු වුණා. ඔය විදිහට තැන් කිහිපයකටම ගියා. මේක සහතික අතේ තියාගෙන යන ගමනක් නෙවෙයිනේ. ෆීල්ඩ් එකේම අයගේ දැන ඇඳුනුම්වලට යන ගමනක්. හැබැයි ඒක මහා ජරා ගමනක්. පිටතින් දකිනවා වගේ සුන්දර ලස්සන එකක් නෙවෙයි. අපි මේ පැය විසි හතරම ඉන්නේ පරාණ බයෙන්...”
“අමතක නොවෙන ගනුදෙනුකරුවන් එහෙම..?”
“අපොයි ඕන තරම්... මේකයි, වැඩියෙන්ම එන්නේ බේබද්දෝ... මොනා කරන්නද ගඳයි අප්පිරියයි කියලා අහක දාන්න බෑනේ. ටිප් එක දුන්නොත් අපි සර්විස් එක දෙනවා. හැබැයි එහෙම කියලා හැමෝමත් එක්ක සීමාව ඉක්මවලා යන් නෑ. හය හත්දාහක් දුන්නත් අපිට කැමැත්තක් ඇති වෙන් නැත්තම්, එක්කෝ ෆීල් එකක් නැත්තම් මම නම් මගේ සීමාවේ ඉන්නවා මුකුත්ම නොකර... ස්පා කිව්ව හැමෝගෙම ඔලුවේ මැවෙන්නේ ඒ අය ගණිකාවෝ, බඩු නැත්තම් ඇඟ විකුණන උන් කියලා. ඒත් උන්ගේ ජීවිත එච්චර සුන්දර නෑ මල්ලි... අපිව මුණ ගැහෙන්න එන සමහර උන් උන්ගේම නැන්දම්මලා එක්ක ...... යෙදෙන අය... තව උන් එක එක ගෑනුන්ට ආස වෙලා ඒවා පිටකරගන්න බැරිවෙච්ච අය... ප්‍රසිද්ධ දොස්තරලා, ඉංජීනේරුවෝ පවා ඒ ආපු අය අතරේ හිටියා. එතනින් සමහරක් උන් සෙක්ස් කරන්නවත් පණ කෙන්ද නැති උන්...”
ඈ ඒ “අමුතු ගනුදෙනුකාර භවතුන්” ගැන කතාව නවත්වලා, “කෙටි විරාමයක්” සඳහා දැහැන්ගත වුණා. ඇගේ මිතුරිය ඈ වෙනුවෙන් හඬ අවදි කළේ ඒ අතරේ....
“අපි බෝධිසත්වයෝ කියනවා නෙවෙයි. මේක වැරදි ජොබ් එකක්. ඒත්... අද බලන්න ලංකාවේ කී දාහක් අපචාර වෙනවද? ළමෙකුට පාරේ බැහැලා යන්න පුළුවන්ද? හැමදාම පත්තරයක් බැලුවොත් දූෂණයක්..... ඒ විදිහේ අසහනාකාරි හැත්තක් අපි අතරේ ඉන්නවා. උන්ගේ භාගයක් උන් උන්ගේ ඇත්ත මූණ ලෝකෙට පෙන්නන් නෑ. ඒත් මෙහේ ඇවිත් අපිට මුළු ඇඟම පෙන්නනවා. මම කියන් නෑ මේක නීතිගත කරන්න කියලා. අපේ සංස්කෘතියත් එක්ක ඒ දේ ගැළපෙන්නෙ නෑ. ඒත් අනේ මන්දා...... මට තේරෙන් නෑ...” මිතුරිය කතාව නතර කරලා නැගිට්ටා. ඈ මට දුන්නූ බිස්කට් පැකට් එකත් දැන් ඉවර වෙන්න ළඟයි. වෙලාව බොහෝම ඉක්මණින් ගෙවිලා යනවා. “අද නම් ඌබර් එකක් තමා..” මම අඳුරට ඇහැ පෙව්වා. සෙනුරි.....!! ඈ ආයෙම ඉඳගත්තා මගේ ඉස්සරහා...
“මට මගේ දරු පැටව් දෙන්නා ගැන දුකයි. උන් උන්ව බලාගන්නවා. අයියා මල්ලිට හරි ආදරෙයි. ඒ තමයි දෙවියන් වහන්සේ මට දුන්න තෑගී.. අද හෙටම නැති වුනත් මම ඉක්මණින්ම මේ රස්සාවට ආයුබෝවන් කියනවා. මේකම කරන්න බලාපොරොත්තුවක් නෑ. මේ විදිහට හැංඟිලා, පොලිසිය බයේ පපුවේ ගිනි දාගෙන ඉන්න බැරිවෙයි හැමදාම. හැම ගෑනියෙක්ම මේවා ඇතුළේ අඬනවා. දවසට රුපියල් විසි දාහක් හෙව්වත් ඒවා රැඳෙන් නෑ. පොඩි උන්ටත් යවලා කුලියත් ගෙවලා, වීල්වලටත් දුන්නම ඒවා සේරම ඉවරයි..”
“දන්න කියන අය මුණ ගැහිලා තියෙනවාද ෆීල්ඩ් එක ඇතුළේ...?”
“නැහැ. ඇත්තමයි මම නම් මගේ හතුරෙකුටවත් මේ ෆීල්ඩ් එකට එන්න දෙන් නෑ. මේක නරකාදියක්. ක්ෂණික සල්ලි උනන උල්පතක් කියලා හැම එකාලම හිතන් හිටියට මේක සැප විඳින්න පුළුවන් ජොබ් එකක් නෙවෙයි. මේ හැම එකාලම අඬනවා. උන්ගේ ජීවිත මහ පුදුම ඒවා...” ඇය ආයෙම ඇගේ දුරකථනයට එබුණා. වට්ස්ඇප් ඇමතුමක හිරවුණා. ඊටත් පස්සෙ හරියටම විනාඩි පහකින් විතර... කුටුරුබලි උලන මගේ දිහා ඈ අනුකම්පාවෙන් වගේ බැලුවා.
“මේ කතාව පිස්සුවක් වෙයි...” මම එහෙම අනුමාන කළා.
“ඔව්....!! මල්ලි මේ ෆීල්ඩ් එක ලස්සන නෑ. ඒත් දන්නවද? අපි ගණිකාවෝ, බඩු. මම දන්න එක නිළියක් ඉන්නවා. එයා රඟපාන ගමන් කරන්නේ මේ දේ... එයා එක්ක හිටපු මිනිස්සු මටත් මුණ ගැහිලා තියෙනවා. ඒ වුණාට කවදාවත් කවුරුත් එයාට ගණිකාවක් කියන් නෑ. ඒක තමා වෙනස... දුප්පත්කමට මේකට වැටිලා කීයක් හරි හොයන්, ඒකත් දරුවන්ට දීලා ගිනි කන අපි විතරයි බඩු...................” ඒ ගැහැනිය දැන් අඬන්නේ නැහැ. තරහ අරගෙනත් නෙවෙයි. මොකද්දෝ දෙයක් කියාගන්න බැරුව ඉන්නවා වගේ, ඈ මේ මහ පොළවට බර අඩි තියන්න ගන්නවා. එකත් එකටම ඒ හඬ රිද්මයානූකූලව වෙනස් වෙනවා. “ටක් ටක්... ඩබ් ඩබ්...”

“..සෙනුරි ඉක්මණින් මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙනවද?” මම ඇහුවා. ඈ හිනාවුණා බොහෝම සන්තෝසෙන්...
“මම බලන් ඉන්නේ මගේ දරුවෝ දෙන්න ලොකු වෙනකන්.. ඊට පස්සෙ මම යනවා උන් දෙන්නා ගාවට ආයෙම.. මට උන් දෙන්නගේ මැද්දේ නිදාගන්න ඕනි, උන්ගේ කකුලක් ඇඟට දාගෙන... අනේ!! මම දැනුත් එහෙම වුණා නම් කියලා හිතනවා....”
ආයෙම ඒ ඇස් හිනාවුණා. තව ටිකකින් මම යන්න ඕනි. ඈ මට නොසෑහෙන්න ස්තුති ප්‍රශංසා කළා. මම ඇගේ මිතුරිය දිහාවට හැරුණා.
“ඔයාලා බුදුන් වැඳලා මොනාද ඉල්ලන්නේ..?”
“අපි වැඩ කරන තැනට බුදු පිළිම ගැළපෙන් නෑ. මොකද අපි කරන්නේ වැරදි දෙයක් නිසා. ඒත්... අපි උදේ හවස බුදු හාමුදුරුවන්ට වඳිනවා. සමාව ගන්නවා ඇරෙන්න වෙන මොකවත් ඉල්ලලා නෑ...”

ඊටත් පස්සෙ මට යන්න ඇරලා, ඒ ගැහැනු ආත්ම දෙක, මට ඈත තියා අත පෑවා. ඒ වෙනකොටත් පාරට වැඩපු රෝදතුනේ හිටපු හාදයා මාව පිළිගන්න සුදානමින් හිටියා.
“සර් නුගේගොඩට ද දැම්මේ...?”
(මෙම කතාවේ එන සියලු නම්, ගම් සහ ඇතැම් සිදුවීම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය, ප්‍රගීස්. එස්. නාලින්ද, රුවී ඇතුළු නම් සඳහන් කළ නොහැකි සෑම සියලු දෙනාටම!!)