ක්‍රීඩකයන්ට රතු එළියක් වූ වෛ‍ද්‍යවරියගේ නොමනා කථාවේ අලුත්ම තතු..,
Saturday, 23 January 2021 - 10:01 | Views - 636
මේ කතා ගෙතුණු හෝ ද්වේෂ සහගතව කවුරුන් හෝ එළියට දැමූ ඒවා ද ?
එංගලන්ත ජාතිකයකු-ගේ ක්‍රීඩක මාෆියාවක් ගැනත් තොරතුරු...!!

ක්‍රිකට් ගැන කතා කරන්නටත් අකැමැති අන්දමට අද ක්‍රිකට් මෙරට ක්‍රිකට් ලෝලීන්ටත් ක්‍රිකට් උනන්දුවක් ඇති අයටත් එපාවී ඇත.

දිගින් දිගටම තරග පැරදීම පමණක් නොව, ක්‍රිකට් හා සම්බන්ධව ක්‍රීඩකයන් හා සම්බන්ධව හතර අතින් කියවෙන කතා නිසා අද එදා ජනප්‍රිය චරිත බවට පත්ව සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් පවා තිත්ත වී තිබේ.

පරදින රැල්ල මදිවාට ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව ගැටලු පැනනැඟීමද ජනතාවට ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ඉමහත් කලකිරීමක් හට ගැනීමට හේතුවක් වී ඇත.

පසුගිය සතිය තුළ ක්‍රීඩකයන් හා ඔවුන්ගේ බිරියන් සම්බන්ධ කරුණු සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත්, ගාල්ල ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායම තුළ සිටින එක්තරා නිලධාරිනියක් හා ක්‍රීඩකයකු අතර අයථා සම්බන්ධතාවක් ලෙස කරළියට පැමිණ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ සිද්ධියක් විශේෂයෙන් මුහුණු පොත හා සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

ගින්නක් නොමැතිව දුමක් නොනඟින බවට කතාවක් තිබේ. ගාල්ල ප්‍රථම ටෙස්ට් තරගය අතරතුර එළියට ආ අයථා සම්බන්ධතාවක් පිළිබඳ කතාව මේ වන විට මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.

ළැව් ගින්නක් ලෙස පැතිරුණු මෙම කතාවට භාජන වන්නේ කණ්ඩායමට අනුයුක්ත කර සිටින නිළධාරිනියක හා තරුණ ක්‍රීඩකයකු සමඟ පවත්වන්නට යෙදුණේ යැයි කියන අනියම් සබඳතාවකි.

විවිධ අන්දමින් පැතිරුණු මෙම කතාවට එක් එක් අය එක් එක් කතා එකතු කර ඇත. ඒ අනුව ක්‍රීඩක කාමරය තුළ මේ දෙදෙනා සිට තිබේ.

තවත් කතාවක කියැවෙන්නේ දුම්පානය සඳහා ක්‍රීඩක කාමරයට රිංගූ ක්‍රීඩකයන් තිදෙනෙක් සමඟ ඇය එහි සිටි බවයි. තවමත් මේ කතා ගෙතුණු හා ද්වේෂ සහගතව කවුරුන් හෝ එළියට දැමූ කතා විය හැකි වන්නටත් බැරි නැත. නොඑසේ නම් යම් සත්‍යතාවක් තිබිය යුතුයි.

ක්‍රිකට් බලධාරීන් විසින් වහාම පරීක්‍ෂණයක් පවත්වා මෙහි ඇත්ත නැත්ත හෙළිදරව් කර ගත යුතුව ඇත. නොඑසේ නම් කණ්ඩායම තුළ විනය පවත්වාගෙන යා නොහැකිය. මෙම කතාවේ සත්‍යතාවක් නොමැත්තේ නම් අදාළ පාර්ශ්වයන් නි‍ෙදාස් කොට නිදහස් කළ යුතුය.

මෙවැනි සිද්ධීන් මීට පෙර ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ අසන්නට නොලැබුණු සිද්ධීන්ය. ක්‍රීඩාවේ ගුණාත්මක භාවය අමතක කොට කණ්ඩායම් හැඟීම හා ජයග්‍රාහී පිපාසාව පසෙකලා ක්‍රීඩකයන් අද බොහෝ සෙයින් වාණිජකරණයට හසුවීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වන ෂෙහාන් ජයසූරිය පසුගියදා ඇමෙරිකාවේ වසන හිටපු නිළියක වන ඩිලානි අබේවර්ධනගේ දියණිය සමඟ විවාහ වී ඇමෙරිකාවේ පදිංචියට ගියේය. ඒ යන විට යන යකා කොරහත් බිඳගෙන ගියාක් මෙන් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් තමන් රට හැර යෑමට එක් හේතුවක් වූයේ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා හා ඔහුගේ බිරියගෙන් සිදුවූ අකටයුතුකම් නිසා බව කීවේය.

මෙයින් කිපුණු තිසර පෙරේරාද සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් ෂෙහාන්ට පිළිතුරු දුන්නේය. මීට පෙරද තිසර පෙරේරාගේ බිරිය හා ලසිත් මාලිංගගේ බිරිය අතර සමාජ ජාලා ඔස්සේ මෙවැනි සංවාදයක් ඇති විය. මෙයද ක්‍රිකට් ලෝලීන්ගේ අප්‍රසාදයට හේතු විය.

මීට පෙරද ක්‍රීඩකයන් අතර විවිධ හේතු මත ප්‍රශ්න හටගත් අවස්ථා එමට විය. නායකත්ව අර්බුද ඇතිවූ අවස්ථාවල අර්ජුන රණතුංග සමයේ පවා ක්‍රීඩකයන් අතර ගැටලු හටගත් අවස්ථා තිබිණ. වරක් තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංග අතර බරපතළ ප්‍රශ්නයක් ඇති විය. එහෙත් පිටිය මැදදී ඒ කිසිවක් නොවන ආකාරයට ඔවුන් තරග දිනවීම සඳහා ක්‍රීඩා කළෝය.

එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී ලැබෙන ඩොලර් ගණන මත එකිනෙකා මරාගෙන හෝ කණ්ඩායමේ රැඳී සිටීමට ක්‍රීඩකයන් විසින් නොකරන දෙයක් නොමැත. මේ සෑම ක්‍රීඩකයකුටම පාහේ පෞද්ගලික කළමනාකරුවකුද සිටී. දැනට මෙසේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් ලෙස කටයුතු කරන පුද්ගලයන් හත් අට දෙනකු සිටින අතර ඔවුන් සිටින්නේ තිරය පිටුපසිනි. සටකපට පුද්ගලයකු ලෙස ප්‍රකට විචාරයකු මේ වන විට තමන් ක්‍රීඩක කළමනාකාරිත්වයෙන් ඉවත්ව සිටින බව දන්වා ඇතත් එම කටයුත්ත සිදු කරනු ලබන්නේ එංගලන්ත ජාතිකයකු හා හවුල්ව ඔහුගේ ලේකම්වරියක් මඟිනි.

මීට අමතරව එංගලන්තයේ කලක් පදිංචිව සිට මෙහි පැමිණ වීසා හේතුවක් නිසා යළි එහි යෑමට නොහැකිව සිටින පුද්ගලයකු හා බැංකුවක සේවය කරන්නකු ප්‍රසිද්ධ ක්‍රීඩකයන් රැසකගේ කළමනාකරුවන් ලෙස පෙනී සිටිති.

කලක් කණ්ඩායමේ සිටි ජනප්‍රියම ක්‍රීඩකයන් දෙදෙනකුගේ කළමනාකරු ලෙස තවමත් කටයුතු කරන දැනට මෙහි පදිංචිව සිටින එංගලන්ත ජාතිකයකු ක්‍රීඩක මාෆියාවක් ගොඩනඟා ගෙන තිබිණ.

අර්ජුන රණතුංග මොහු ගැන පාර්ලිමේන්තුවේදීද හෙළිදරව් කළ අතර විශ්‍රාම යෑමෙන් පසු තිලකරත්න ඩිල්ෂාන්ද මොහු ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

මොහුද දැනට තමන්ගේ සමාගම නමින් වෙනත් පුද්ගලයකු ඉදිරියට දමාගෙන කටයුතු කරයි. පසුගිය LPL තරගාවලියේද ක්‍රීඩකයන් ඊට ඇතුළත් කළේ මොවුන් බව පවසමින් එහිදී ක්‍රීඩකයන් ලැබූ දීමනාවලින් 10% සිට 20% දක්වා කොමිස් මුදල් අය කර ගෙන තිබිණි.

මේ ක්‍රීඩක කළමනාකාරීත්ව මාෆියාවේ තවත් අංගයක් වනුයේ ඇතැම් තේරීම් කමිටු නිලධාරීන් අල්ලාගෙන තමන්ගේ ක්‍රීඩකයන් කණ්ඩායමට රිංගවීමයි. මෙය රටේ ජනතාව නොදන්නා තවත් කතාවකි. ඊට අමතරව එක් එක් කළමනාකරුවකු සමඟ සිටින ක්‍රීඩකයන් ඔවුන්ගෙන් ගලවා තමන් වෙත ඇද ගැනීම සඳහා ක්‍රීඩකයන්ව යොදා ගැනීමේ සූක්‍ෂ්ම ක්‍රමවේදයක්ද පවතී. මෙය අතිභයානක තත්ත්වයකි.

මෙම ක්‍රීඩක කළමනාකාරීත්ව මාෆියාවට ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ද අයත් වෙති. ආයතනයේ වැටුප් ලබන තරගාවලිවලට සම්බන්ධ අයකුද මෙම කටයුත්ත සිදු කරනු ලබයි.

මෙම කටයුතු සියල්ල දැක දැකත් ක්‍රිකට් බලධාරීන් නොදැක්කා සේ අහක බලා සිටීම මේ බොහෝ ප්‍රශ්නවලට හේතුවී තිබේ. 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් වන විටම වසර දෙකේ සිට පහක් සඳහා තමන් සමඟ ගිවිසුම් අස්සන් කර ගැනීමට මොවුන්ගේ ඇත්තේ බලවත් පොරයකි. පිත්තක් දෙකක්දී ඔවුන් රවටා ඩැහැ ගැනීමට මොවුන් සමතුන්ය.

වෙනත් රටවල ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් යනු ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට සෑම අතකින්ම උදවු කරන හා ඔවුන්ගේ සමාජශීලීත්වය පෞද්ගලික ප්‍රතිරූපය නැංවීම. මූල්‍ය කළමනාකරණය වැනි කරුණු රැසකට වග කියන්නන් වුවද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩක කළමනාකාරිත්වයේ දකින්න ලැබෙන්නේ එවැන්නක් නොව ක්‍රීඩකයාද සූරාකමින් ඔහු නන්නත්තාර කර දමා තමන්ගේ කුට්ටිය ඩැහැ ගන්නා ක්‍රමයකි.

අද බොහෝ ක්‍රීඩකයන් රාත්‍රී කාලයේ අලුයම වන තුරු සමාජ ශාලාවල හා කැරෝකේවල බීමත් වන්නේද මේ කළමනාකරුවන් සමඟය. මෙසේ කාලය ගත කොට එළිවන ජාමයේ නිවෙසට යද්දී මිනිසුන් යට කර දැමීම් ගැන පසුගිය වකවානුවේ වාර්තා වූයේද මෙම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙසය.

ක්‍රීඩකයන්ගේ විනය අද උපරිම වශයෙන් පහත වැටී ඇත. චර්යාව පිළිබඳ කළු පැල්ලම් සහිත වූ ක්‍රීඩකයන්ම විවිධ විනය විරෝධී කටයුතුවල නිරත වුවත් ක්‍රිකට් පාලකයන් ඔවුන්ට ලබා දෙන්නේ සුළු දඬුවමකි. බොහෝ විට කිසිදු දඬුවමක් ලබා නොදෙයි.

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව මේ අතින් සිටින්නේ බොහෝ ඉදිරියෙනි. අප වගේ රටක නම් ස්මිත් වැනි ක්‍රීඩකයකුට වසරක ක්‍රිකට් තහනමක් කිසි විටෙක ලබා නොදෙනු ඇත. සුපිරි පිතිකරුවකු වන රෝහිත් ෂර්මාටද කණ්ඩායම් නීති උල්ලංඝනය කිරීමට නිසි දඬුවම් ඔවුන් ලබාදෙයි.

මීට පෙර බීමතින් රිය පදවා මිනිසුන් යට කළ සහ තරග අතර තුර කාන්තාවන් හෝටලයට රැගෙන ආ ක්‍රීඩකයන්ට අපේ ක්‍රිකට් බලධාරීන් කිසිදු බරපතළ දඬුවමක් ලබා නුදුන්නේය.

අද පාසල් මට්ටමේ සිටම ක්‍රීඩකයන්ගේ විනය පහත වැටී තිබේ. ගුරු ගෞරවය, ක්‍රීඩාවට ඇති ආදරය, කලගුණ සැලකීම වැනි ගුණාංග ඇත්තේම නැත. මුල් තැන දෙන්නේ ජංගම දුරකථනයට හා විලාසිතාවටය.

ඇතැම් ක්‍රීඩකයන් ඉන්ස්ටග්‍රෑම් හා ෆේස් බුකියේ දිනපතා බර උස්සන, ව්‍යායාම් කරන වීඩියෝ දර්ශන මුදාහැරියත් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ පවත්වද්දී ඉන් අසමත්ය.

වරක් 19න් පහළ කණ්ඩායමේ සිටි ප්‍රසිද්ධ පාසල්වල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තරග අතරතුර හෝටලයේ පදමට වෙරි වී සිට හසුවුවත් දැඩි පියවරක් නොගත් අතර ඔවුන් යොවුන් ලෝක කුසලානයටද තෝරා ගනු ලැබීය.

අර්ජුනලා, මඩුගල්ලලා, වර්ණපුරලාගේ සමයේ සිටි අබුෆුවාඩ් වැනි විනය සම්බන්ධව දැඩි පියවර ගන්නා කළමනාකරුවන් අද නැත. පත්කරන කළමනාකරුවන් ක්‍රීඩකයන්ට යටවී ඇත. මෙසේ තිබියදී ක්‍රීඩක විනය තව තවත් යන්නේ වළපල්ලටය. ඉතින් ක්‍රීඩාවක් දියුණු කරන්නේ කෙසේද?

ක්‍රීඩාව ගොඩනැංවීමට නම් මුලින් විනය හැදිය යුතුය.

සහන් රවිඳු
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්....

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top