පාර්ලිමේන්තු පොකුර තවත් විසිරේද, අදත් 60කට පී.සී .ආර් පරීක්ෂණ..,
Tuesday, 19 January 2021 - 8:47 | Views - 530

මහාචාර්ය ජී.එල්. පීරිස්ද ඊයේ සිට ස්වයං නිරෝධායනයට..!
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තවත් 60 දෙනෙකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
ඊයේ (18) මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අද (19) ලැබීමට නියමිතයි.
මීට පෙර ද මැති ඇමතිවරුන් ඇතුලු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 943 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණා.
ඒ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමඟයි.
කෙසේ වෙතත් එම පී.සී.ආර්. පරික්ෂණවලදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හයදෙනෙකුට සහ පිටත ආරක්ෂකයින් තුන්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
මේ අතර කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
රාජ්‍ය අමාත්‍යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට සහ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
තමන් ඇතුලු පිරිස කොග්ගල පිහිටි හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ.
කෙසේ වෙතත් ඊයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් සිය පුතුට, රියදුරාට, ආරක්ෂක නිලධාරීන්ට සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි ඔහු කියා සිටියේ.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ද ඊයේ සිට ස්වයං නිරෝධායනයට යොමුවුණා. ඒ ඔහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.
මෙවන් පසුබිමක මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව ඊයේ තීරණය කළා.
ඒ අනුව අද සහ හෙට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙනු ඇති.
අද පෙරවරු 10 ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.
එමෙන්ම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න 10 කට පමණක් සීමා කර තිබෙනවා.
Share This Article