මිරිස්සේ - කොකනට් හිල්ස් හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක්
Wednesday, 06 January 2021 - 14:01 | Views - 331

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මිරිස්ස - බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ කොකනට් හිල්ස් නමින් ප්‍රසිද්ධ ස්ථානයේ කොන්ක්‍රීට් කණු සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වැලිගම ප්‍රාදේශීය සභාවට ලිපි යොමුකර තිබෙනවා.
එමගින් පොලිසිය දන්වා ඇත්තේ මෙලෙස ඉඩම් වෙන් කිරීමට අදාළව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග නිසියාකාරව ගෙන ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙසටයි.
එලෙස නිසියාකාරව කටයුතු කර නොමැති නම් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පොලිසිය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මෙම භූමිය බොහෝ කාලයක සිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශනයට ලක්වූ ස්ථානයක්.
මෙහි කොන්ක්‍රීට් කණු සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කථාබහක්ද ඇතිවුණා.
අනතුරුව හිරු ප්රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ මෙම ඉඩම ශ්‍රී ලාංකිකයෙකුට සහ විදේශිකයෙකුට අයත් බවටයි.
එහි පර්චස් 400 ක් පමණ පවතින අතර, ඉන් පර්චස් 80 ක අයිතිය පවතින්නේ විදේශිකයා සතුවයි. අනෙක් පර්චස් 320 මෙරට පුද්ගලයා සතු වනවා.
අදාළ භූමියේ කොන්ක්‍රීට් කණු සවි කිරීමට මෙරට පුද්ගලයා කටයුතු කර ඇති අතර, ඒ පිළිබඳව සොයාබැලීම සඳහා වැලිගම නගර සභාවේ සභාපතිවරයා ඇතුලු පාර්ශව කිහිපයක්ම එම ස්ථානයට පැමිණ තිබෙනවා.
Share This Article