ශ්වසන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ සයමස් ගැබිනි කාන්තාවක පෙරේදා (03) මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය සඳහන් කළා.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, කොට්ටාව, රුක්මල්ගම, සමඟි මාවතේ චන්දි අනුපමා උඩවත්ත නම් 29 හැවිරිදි කාන්තාවක්.
දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සුදානමින් සිටි මේ කාන්තාවට ඉකුත් දෙවනදා සවස හදිසියේ ඇති වූ ස්වසන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පන්නිපිටිය හා තලවතුගොඩ ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
එහිදි තලවතුගොඩ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී ගැබිනි කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ වහාම ප්‍රතිකාර සඳහා රෝගී කාන්තාව රජයේ රෝහලක් වෙත රැගෙන යන ලෙසයි.
ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඥාතීන්, ඒ ආසන්නයේම පිහිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මේ කාන්තාව ඇතුළ කර ප්‍රතිකාර කර ඇතත් 3 වැනිදා ඇය මියගොස් තිබෙනවා.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්. එම්. ඩග්ලස් රූපසිංහ මහතා විසින් පෙරේදා සිදු කිරීමට නියමිතව තිබුණා.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..