කොඩිකන්දේ හිමිනම ඝාතනයට පොලිස් නිලධාරිනියකගේ සැමියෙකුගේ සම්බන්ධයක්
Tuesday, 05 January 2021 - 13:20 | Views - 549

හංවැල්ල - තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරිනියකගේ සැමියෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
ඒ අතර එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන සාමණේර හිමිනමකගේ මව්පියන් ද සිටිනවා.
තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, පැහැරගැනීමට යොදාගත් වෑන් රථයද හඳුනාගෙන තිබෙනවා.
පසුගිය දෙවනදා කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට මෙම පිරිස පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නම පැහැරගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් කොටදෙණියාව - නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ උන්වහන්සේගේ සිරුර ඊයේ (04) සොයාගැනුනු අතර, පුළුස්සා දැමීමෙන් පසු එය වළදැමීම සඳහා සුසාන භූමියේ කුඩා වළක්ද සකස් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් හිමිනම පැහැරගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
මේ අතර අදාළ හිමිනමගේ ඝාතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළ අතර, ඊට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පිළිතුරු ලබාදුන්නා.
Share This Article