නිවාස ඒකක 3000ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ
Monday, 04 January 2021 - 16:38 | Views - 568

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු අද (04) ඔරුගොඩවත්තේදී ආරම්භ කෙරුණා.
නිවාස විෂය භාර අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත්තේ නියමිත ප්‍රමිතියට අනුකූලව වඩාත් ආකර්ෂණීය ලෙස මෙම නිවාස සාදා නිම කරන ලෙසයි.
ඊට අමතරව නිවාස නොමැති මධ්‍යම ප්‍රාන්තික පවුල්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට සරිලන ආකාරයෙන් මෙම නිවාස ඉදිකරන ලෙසට ද අග්‍රාමාත්‍යතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
නාගරික සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු උතුරු කොළඹ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු අද (04) ආරම්භ කෙරෙණු අතර නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම සියළු කටයුතු අධීක්ෂණය කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ සති දෙකක් තුළ නිවාස ඒකක 3,000 ක් ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන බවයි.
ප්‍රථම අදියර යටතේ මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලබේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්රදේශවලද, ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද ඉදිකිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 3000 සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක්.
නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන සේ මෙම නිවාස ඒකක ඉදිකිරීම ද විශේෂත්වයක්.
ඊට අමතරව තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ මධ්‍යම ප්‍රාන්තිකයින් ඉලක්ක කර ගෙන මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ඔවුන්ගේ රැකියා ස්ථානවලට කෙටි දුරක් ඇතුළත නිවාස ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදිකෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විතයි.
වර්ග අඩි 700 නිවාස නිදන කාමර දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 900 නිවාස නිදන කාමර තුනකින් ද සමන්විතයි.
මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකිරීම ද විශේෂත්වයක්.
ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම මෙන්ම වසර 25 ක කාලය තුළ රජයේ බැංකු විසින් 6.25% ක පොළි අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබාදීම ඇතුළු කරුණු තුළින් මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සහනදායි මිලකට නිවාස හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.
මෙම මහල් නිවාස ඒකක සඳහා සියළු යටිතල පහසුකම් රජය මඟින් ලබා දීමද විශේෂත්වයක්.
රට පුරා ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය වසර එකහමාරක් තුළ ඉදිකර අවසන් කිරීමට නියමිත අතර නිවාස 5000 න් ඉතිරි නිවාස 2,000 ඉදිකිරීමේ කටයුතුද මාර්තු මාසයට පෙර ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා
2021 වසරේ අපි ජන ජීවිතය නැවතත් සාමාන්‍ය කරගන්නට ඕනේ. මේ අසාමාන්‍ය තත්වය සාමාන්‍ය තත්වයක් බවට පරිවර්තනය කරගන්නටත් අපි ක්‍රියාකරන වෙලාවක අපේ රට අපි සෑහෙන දුරට හොඳින් ඒක කළමනාකරණය කර ගත්තා. අපේ අමාත්‍යාංශය ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් අමාත්‍ය වෙනකොට, සිරිනිමල් පෙරේරා මැතිතුමා ලේකම් වෙච්ච අපේ අමාත්‍යාංශය පසුගිය කාලයේ කොරෝනා කියලා නිකන් හිටියෙ නැහැ. අමාත්‍යාංශයේ පැය 24 ම වැඩ කළා. මන්දගාමී වෙලා තිබ්බ ව්‍යාපෘති කීපයක් අපි වේගයෙන් ඉදිරියට පටන් අරගෙන තියෙනවද. දැන් මේ සති 2 තුළ අපි ගෙවල් 3,000 ක් හදන්න මුල්ගල තියෙනවා මධ්‍යම ප්‍රාන්තික නිවාසවලට. අපි ආරාධනා කරනවා මේ රටේ අනෙකුත් සියලු දෙනාටත් ඒ විදිහට සුබවාදීව දකින්න කියලා. කාලය නාස්ති කරන්න විදිහක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. අපේ අමාත්‍යාංශයේ නම් ඉතාමත්ම පැහැදිලි. අපිට ආයතන 07 ක් තියෙනවා. අපේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඒ ආයතන හතෙන්ම හොඳ වැඩපිළිවෙළක් සකස් කරලා තේමාවන් 08 ක් යටතේ අපි ඉලක්ක සකස් කරගෙන අපි ඒවා ක්‍රියාත්ම කිරීමේ නිර්දේශයේ යෙදී සිටිනවා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ නිලධාරීන්ට. අපේ අමාත්‍යාංශයේ විවිධ ආයතනවල ඉන්න නිලධාරීන්ට. ඔවුන් වැඩ කරන ආකාරයට. හැබැයි අපි ඉල්ලා සිටිනවා ඔවුන්ට මීටත් වඩා අපි කාර්යක්ශම වෙන්න ඕනේ. මීටත් වඩා පිරිසිදු වෙන්න ඕනේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ තියෙන විශේෂ අවධානය ලබා දෙන දෙයක් තමයි පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය පාලනය කියන සංකල්පය. හැබැයි මධ්‍යම ප්‍රාන්තික නිවාස ගැන කතා කරනකොට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමා පටන් ගත්ත මේ අඩු ආදායම්ලාභීන්ට, පැල්පත්වාසීන්ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඒක මහා විශාල ව්‍යාපෘතියක්. 60,000 ක් විතර පැල්පත්වාසීන් ඉන්නවා මේ කොළඹ නගර සීමාව තුළ. ඒ අයට නිවාස සෑදීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ සඳහා සැලැස්මක් තිබුණා. මොකද ඒ මුදල අපිට තනියම වියදම් කරන්න බැහැ. ඒ සඳහා සැලැස්මක් තිබුණා. පැල්පත්වාසීන් දැනට ඒකරාශී වෙලා ඉන්න තැන්වල ඒ අයට නිවාස ලබා දීලා වෙන තැන් වල යොදවලා, ඒ අය හිටපු ඉඩම් ව්‍යාපාරික කටයුතුවලට යොමු කරලා එමඟින් මුදලක් හොයාගෙන ඉතුරු අයටත් නිවාස ලබාදීම පියවරින් පියවරට කරපු වැඩපිළිවෙළ මඟින් 18, 000 ක් විතර සැලසුම් කරගෙන ඉද්දි තමයි ආණ්ඩුව පෙරළුණේ.
හැබැයි කොළඹ නගරයේ විතරක් නෙමෙයි පැල්පත්වාසීන් කොළඹ අවට, කොළඹින් එහාට යනකොට මේ ගම්පහ ප්‍රදේශයේ, කළුතර ප්‍රදේශයේ විශාල දුප්පත් පැල්පත්වාසීන් පිරිසක් ඉන්නවා. මේ කොළඹ අභියෝගය ජයගෙන ඒවට අත ගහන්නත් ඕන. අපිට ඉවර කරන්න ගොඩක් වැඩ තියෙනවා. මේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා. ඒ අතර මධ්‍යම ප්රාන්තිකයිනුත් ඉතාම වැදගත් පිරිසක්. මධ්‍යම ප්‍රාන්තික තරුණ පවුල්වලට, තරුණ වෘත්තිකයන්ට පහසු මිලට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියකුත් අපි ආරම්භ කරලා තියෙනවා.
Share This Article