කැස්බෑව ගමක් කම්පාවට පත් කරමින් මදුරු දැලක එල්ලෙමින් අවසන් ගමන ගිය, 12 හැවිරිදි සඳරුගේ මරණය, සැක සහිතයි - පියා පොලිසියට ලබා දුන් සාක්ෂිය මෙන්න
Friday, 01 January 2021 - 16:30 | Views - 571

හය හැවිරිදි සහෝදරිය සමඟ නිවෙසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් (නැප්කින්) සාදාගත් පටියක් මඟින් මදුරු දැල එල්ලීම සඳහා උපයෝගි කරගන්නා කොක්ක මත එල්ලෙමින් තිබෙන දුටු මව දරුවා එයින් ගලවාගෙන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචිව සිටි කවින් සඳරු විජේවර්ධන යන ෙදාළොස් හැවිරිදි සිසුවෙක් බවද පොලිසිය පැවැසීය.
මියගිය දරුවා පියාගේ පළමු විවාහයේ දරුවකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පියා රැකියාවටද මව වෙළෙඳසලකටද ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇති බවට නිවැසියන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වූ බවද පොලිස් නිලධාරියකු පැවැසීය.
මව වෙළෙඳසලට ගොස් නිවෙසට පැමිණ දරුවා පෙනෙන්නට නොසිටීම හේතුවෙන් දරුවා පිළිබඳ සොයා බැලීමේදී නිවෙසේ නාන කාමරයද පරීක්ෂා කර ඉන් අනතුරුව දියණියගෙන් විමසීමේදී සිය සහෝදරයා හැංගී ඇති බවට ඇය විසින් ප්‍රකාශ කළ බව මව ලබාදුන් ප්‍රකාශයක සඳහන් විය.
මව දරුවාට කතා කර බැලීමේදී දරුවාගේ සිරුර ඇඳ ඉහළ සිවිලිමේ මදුරු දැල එල්ලන යකඩ කොක්කේ කුඩා රෙදි කැබලි එක්කර ලණුවක් ආකාරයෙන් තැනූ (නැප්කින්) දෙකකින් එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලේදී දරුවා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන් දරුවා මියගොස් ඇති බව පවසා තිබේ.
දරුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව දරුවාගේ පියා පවසන බව පොලිසිය සඳහන් කරයි.
මියගිය දරුවාගේ ගෙල දෙපස කළු පැහැ ගැන්වී ඇති බවට පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වූ බවද පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ.
සිද්ධිය වූ ස්ථානයේ ස්ථානික පරීක්ෂණය සඳහා පැමිණි කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් කේශා ජයවර්ධන මහත්මිය මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට නියෝග කළාය.
බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Share This Article