සූරියවැව පොළට පැමිණෙන ලොරි රථ ඉලක්ක කරගනිමින් ගංජා ජාවාරමක නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට
Friday, 01 January 2021 - 16:08 | Views - 344

දුර පළාත්වල සිට සූරියවැව පොළට භාණ්ඩ රැගෙන යාමට එන ලොරි රථවලට කලක සිට ගංජා තොග වශයෙන් ලබාදීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවස පරික්ෂා කිරීමකට ලක්කර ඇති අතර එහිදී එම නිවසේ වැසිකිළියේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් එක හමාරක ප්‍රමාණයක් සමඟ නිවසේ සිට ජාවාරම මෙහෙය වු 64 හැවිරිදි ආබාධිත පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සූරියවැව, හත්පහ හන්දිය ප්‍රදේශයේ වසා දැමූ සිය ඥාතියෙකුගේ නිවසක රැදී සිටිමින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සැකකරු තණමල්විල ප්‍රදේශයෙන් මෙම ගංජා ලබාගෙන ඇති අතර එහිදී එලෙස ලබාගන්නා ගංජා සූරියවැව පොළට පැමිණෙන ලොරි රථවලට ලබා දී ඇති ඇති බවයි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ.
සැකකරු සමඟ මෙම ජාවාරමේ නිරත වු 25 හැවිරිදි තවත් පුද්ගලයෙකු ද වියළි ගංජා කිලෝ දෙකක් අලෙවිකිරීමට රැගෙන යමින් සිටියදී සෙවනගල, හබරුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු කුරුණැගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර වසර කිහිපයක සිට සූරියවැව ප්‍රදේශයේ විවිධ ස්ථානවල නැවතී සිටිමින් ගංජා තැනින් තැනට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වි ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සූරියවැව සහ සෙවනගල පොලීසි වෙත භාරදී තිබෙනවා.
Share This Article