දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරීන් 6කට කොරෝනා
Friday, 01 January 2021 - 9:21 | Views - 300

නව කොරෝනා ආසාදිතයන් 597 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,000 සීමාව ඉක්මවා ගියා.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 43,299 ලෙසයි.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුද වන අතර, අනෙක් පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39,571 ක්.
ඊයේ දිනයේදී ආසාදිතයින් 706 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,329 දක්වා ඉහළ ගියා.
එසේම, තවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 5 ක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සිදු වු මුළු කෙරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවුවා.
ඒ අනුව මේ වනවිට මෙරට සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාව 204 ක් වනවා.
මෙලෙස මියගිය 5 දෙනා අතර කොළඹ 5 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් සිටිනවා.
අයි.ඩී.එච් රෝහලේදී ඊයේ මෙම කාන්තාව මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්.
මියගිය අනෙක් පුද්ගලයින් සිව්දෙනා අතරින් දෙදෙනෙකු දියවැඩියාව උග්රවීම වීම සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු සහ 46 හැවිරියේ වියේ පසු වූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම, කොවිඩ් 19 වැළදීමත් සමඟ ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනය වීම හේතුවෙන්ද දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් එක් අයෙක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනෙක් පුද්ගලයා පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පොලොන්නරුව - ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය අනෙක් අසාදිතයින් සිව්දෙනා සොයා තවදුරටත් පොලිසිය මෙහෙයුම් සිදු කරනු ලබනවා.
ඊයේ අලුයම එහි සිටි ආසාදිත රැඳවියන් 5 දෙනෙකු පැන ගිය අතර ඉන් එක් අයෙකු වන 27 හැවිරිදි වෙන්නප්පුව - සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි රැඳවියා ඊයේ හලාවත - කාකපල්ලිය - දෙමටපිටිය ප්‍රදේශයේදී සොයා ගනු ලැබුවා.
එමෙන්ම, දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ සමඟ එහි සේවය කරන නිලධාරීන් 14 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී නිලධාරින් 05 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වුණා.
එසේම, කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබාගත් ගර්භණි මාතාවන් 130 දෙනෙකු අතරින් 46 දෙනෙකු නිරෝගී දරු උපත් සිදු කර ඇති බවයි මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න කියා සිටියේ.
එසේම, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස අග වනවිට ගුවන් තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
එම දිනය නිල වශයෙන් ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සංචාරක ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී කියා සිටියේ.
මෙහිදි අමාත්‍යවරයා සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැලි සිටින ලක්ෂ 30 ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර, හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියළු ප්‍රදේශවල සිනමාහල් අද සිට 25% ක ප්‍රේක්ෂක ධාරිතාවක් සහිතව විවෘත කෙරෙනවා.
චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්යක්ෂවරුන් සහ ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුළු කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීම සම්බන්ධයෙන් කලාකරුවන්ට සිදුවී ඇති හානිය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා දැනුවත් කරනු ලැබුවා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිනමා ශාලා අද සිට විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ.
අද සිට විවෘත කෙරෙන සිනමා ශාලා මුළුමනින්ම, විෂබීජහරණයට ලක්විය යුතු වනවා.
Share This Article