පලාගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස්දෙනා සොයා විමර්ශන අඛණ්ඩව
Thursday, 31 December 2020 - 13:05 | Views - 324

පොලොන්නරුව - ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් පස් දෙනෙකු පළාගොස් තිබෙනවා.
අද අලුයම ඔවුන් පළාගොස් තිබූ අතර, ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
මත්කුඩුවලට ඇබ්බැහි වූ පළාගිය රැඳවියන් අවුරුදු 26, 27, 31, 36 සහ 52 යන වයස්වල පසුවනවා.
ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 639 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.
එම සංඛ්‍යාව 190 ක්. ඒ අතරින් 47 දෙනෙකු වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ පූගොඩ ප්‍රදේශයෙන්.
එසේම, නිට්ටඹුවෙන් ආසාදිතයින් 21 දෙනෙකු සහ බියගමෙන් ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබුණා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 133 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබූ අතර, ඉන් 83 දෙනෙකුම සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් වාර්තා වූ ආසාදිතයින් වීම විශේෂත්වයක්.
ගතවූ දිනය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 31 දෙනෙකු පමණයි.
ඊට අමතරව ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 42 ක් හඳුනාගෙන තිබුණා.
යුක්රේනයේ සිට දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් 06 දෙනෙකුටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කෙසේ වෙතත්, පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වනවිට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව සැසඳීමේදී කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාදිත මවක් ඊයේ නිරෝගී දරු උපතක් සිදුකළ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව ප්‍රකාශ කළා.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ඊයේ දිනයේ සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 940 ක් අතුරෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව පසුගිය 18 වැනිදා සිට මේ දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90 ක්.
එසේම, උදාවන නව වසර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සමරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Share This Article