අවුරුදු 10ක දරු පැටියා බලා සිටියදී, අනියම් බිරිඳට ගිනි තබා අමු අමුවේ ඝාතනය කළ ජයන්ත, උසාවිය හමුවේ කියූ පුදුම සහගත කතාව
Wednesday, 30 December 2020 - 9:45 | Views - 627

විභාග වන නඩුව - 2002 වසරේ ඔක්තෝම්බර් මස 15 වැනිදා තංගල්ල, කුඩාවැල්ලේ පදිංචි සිව් දරු මවක් භූමිතෙල් තමා ගිනි තබා මරා දැමීම.
සිද්ධිය වී වසර 18ක්. මෙදිනට නියමිතව තිබුණේ දීර්ඝ නඩු විභාගය අවසානයේ දඬුවම් නියම කිරීමයි.
"තමාට කියන්න යමක් තියෙනවාද?" ඒ පැනය මහාධිකරණ විනිසුරුවරයාගෙනුයි.
"ස්වාමීනී.. මම අසරණ අහිංසක මනුස්සයෙක්. මට දරුවෝ පස් දෙනෙකු ඉන්නවා. එක දරුවෙක් කටුබැද්ද කැම්පස් එකේ ඉංජිනේරු විද්‍යාව හදාරනවා. අනේ ස්වාමිනී, මට සමාව දෙන්න.."
නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහුගේ මුවේ තිබූ සැහැල්ලු බව කෙමෙන් මැකී යන්නට වුණා. ඔහු විනිසුරුවරයා ඉදිරියේ බැගෑපත් වූයේ තමාගේ දුකට ඔහුගෙන් පිහිටක් ලැබේ යැයි සිතාගෙනයි. එහෙත් සිතා මතා කළ මනුෂ්‍ය ඝාතනයකට සමාවක් දීමට හැකි වගන්තියක් මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ නැහැ.
මේ පුද්ගලයා කර ඇති වරදට දඬුවම සඳහන් වන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේයි. එම වගන්තියේ සඳහන් වන්නේ මරණ දඬුවමයි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා ඔහුට මරණ දඬුවම නියම කළා.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ තංගල්ල පොලිස් වසමේ කුඩවැල්ල, උණුවතුර වත්ත පන්සල ඉදිරිපිට ලිපිනයේ පදිංචි කළු හැන්නැදිගේ රෝහිත සරත් ජයන්ත නම් 58 හැවිරිදි පුද්ගලයාට යි.
මෙදින මොහු වෙනුවෙන් කිසිවෙකු පැමිණ සිටියේ නැහැ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඝාතනය වූ කාන්තාවගේ සැමියා පැමිණ සිටි අතර මොහුට මරණ දඬුවම නියම කිරීමෙන් අනතුරුව 60 හැවිරිදි ඔහු පොලිස් නිලධාරින් හමුවේ හඬ අවදි කළේ හඬා වැටෙමින්.
"මගේ පවුල මැරෙද්දි අපිට ළමයි හතර දෙනෙක් හිටියා. මම ටැංකි බෝට්ටු රස්සාව කළේ. පවුල මැරුණට පස්සේ මට රස්සාවවත් හරියට කරගන්න බැරිවුණා. අම්මා නැතුව මම ළමයි උස් මහත් කරගත්තේ අමාරුවෙන්. දැන් මම හුම්මානෙට හැරෙන තැන පුංචි අයිස්ක්‍රීම් කඩයක් කරනවා.."
මේ වන විට මොහුගේ දරුවන් විවාහකයි. වයස අවුරුදු 30 ඉක්මවූ දරුවන් ද සිටිනවා. එදා මේ සිද්ධිය ඇසින් දුටු පුතාට දැන් අවුරුදු විසි අටක්. මෙය සිද්ධ වෙද්දි ඔහුට අවුරුදු දහයක්. මේ ඝාතන සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිය ඔහු යි. මිය ගිය කාන්තාව ද සිය සැමියාට සිද්ධිය පවසා තිබුණ අතර මිය යාමට පෙර ඇය මරණාසන්න ප්‍රකාශයක් ද කර තිබුණා. මොහුට මරණ දඬුවම නියම කෙරුනේ එම සාක්ෂි දෙකත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වූ මරණයට හේතුවත් අනුවයි.
මේ ඝාතනයට මුල් වූයේ මිය ගිය කාන්තාවත් ඝාතකයාත් අතර තිබූ අනියම් ඇසුරයි.
ජයන්ත මුහුදු රැකියාවෙන් මුදල් හරිහම්බ කරගෙන දරු පවුල නඩත්තු කළ පුද්ගලයෙක්. ඇගේ සැමියාට මුහුදු රස්සාව ජීවිතය කරගත් අයෙක්. ඇය ජයන්ත සමඟ අනියම් ඇසුරක පැටළුනේ තමාට සැමියෙකු සිටින බව තබා සිව් දරු මවක් බවද අමතක කරමින්.
මේ දෙන්නාගේ අනියම් ඇසුර ඇගේ සැමියා දැන සිටියා. එහෙත් ඔහු ඊට එතරම් විරෝධයක් නොපෑවේ ජයන්තගෙන් ගෙදරට ලැබෙන ලාබ ප්‍රයෝජන ගැන දැන සිටි නිසායි.
සැමියා බහුදින යාත්‍රාවල මාස ගණනකට ඈත දියඹට යෑම ඇයටත් ජයන්තටත් රජ මඟුල් බඳු වුනා. අනියම් බිරිඳටත් අත හැර වියදම් කළ ජයන්ත සිය දරු පවුලටද අඩුපාඩුවක් කළේ නැහැ. ඔහු මේ සියල්ලටම මුදල් ඉපැයූවේ ද මුහුදු රස්සාවෙන්.
සැමියා මුහුදු ගිය විට ජයන්ත ඇගේ නිවසට යන්නේ කාගෙන්වත් තහනම් නැති නිසායි. එහෙත් කල් ගත වෙද්දි ඇය ටිකෙන් ටික ඔහුව ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේ දරුවන් උස්මහත් වෙමින් සිටි නිසයි.
මින් දැඩි ලෙස කිපෙන ජයන්ත 2002 වසරේ ඔක්තෝම්බර් මස 15 වැනිදා සවස ඇගේ නිවසට එන්නේ දෙකින් එකක් බේරා ගැනීමට සිතාගෙනයි.
ඒ වන විට ඇය සිටියේ මුළුතැන්ගෙයි සහල් ගරමිනුයි. ඒ රාත්‍රී ආහාරය පිණිසයි. ඇය අසළ එවකට පහ වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පුත්‍රයා ද සිටියා. අසළ දරුවෙකු සිටිනවා නේදැයි ඔහුට නිකමටවත් සිතුනේ නැහැ. ඔහු සිය සිත ඇතුළේ කැකෑරෙමින් තිබූ වෛරය වචනවලට පෙරළන්නට වුණා.
"උඹ දැන් ඉස්සර වගේ නෙවෙයි. වෙනස් වෙලා. මගෙන් අරගත්තූ ඒවා දැන් ඇති වෙලාද? මගෙන් කාපුව බීපුවා උඹට දැන් මතක නැති වෙලා වගේ.." යැයි දොස් නඟන්නට වූයේ ඇගේ යක්ෂ සේනාධිපතියා හිස් මුදුනට ආරූඪ කරවමිනුයි. එහෙත් ඇය කරමින් සිටි කාර්යයේම නියැලි සිටියා.
ලිප ඇත්තේ ද ඇය බිම තබාගෙන සහල් ගරන ස්ථානය අසළයි. එය දර ළිපක්. දරුවලට ගිනි ඇවිලීමට අවශ්‍ය භූමිතෙල් බෝතලයත්, ගිනි පෙට්ටියත් ඒ අසළ ලෑල්ලක් මත තිබුණා.
භූමිතෙල් සහිත ප්ලාස්ටික් බෝතලය මොහු අතට ගත්තා. එහි වූ භූමිතෙල් ඇගේ සිරුරට වත් කරන මොහු ගිනි පෙට්ටිය ගෙන ගිනිකූරක් දල්වද්දි ඇය ඔහුගෙන් ගැළවෙන්නට පොර බැදුවා.
දැල්වුණු ගිනි කූරෙන් ඇගේ ඇඟ ගිනි ගනිද්දි ඇය හා පොර බදිමින් සිටි ඔහු ද ගින්නට හමුවුණා. මේ බව දුටු අසළ සිටි දරුවා කෑ ගසන්නට පටන් ගත් අතර ජයන්ත එම ස්ථානයෙන් පැන ගත්තා.
ඇය බිම ඇද වැටෙන්නේ ගින්න ඇඟ පුරා වෙළා ගනිද්දියි. දරුවාගේ කෑ ගැසීම ඇසුණ අසල්වාසීන් වහා එම නිවසට දිව විත් ගින්න නිවා දැමීමට පියවර ගත්තා.
අනතුරුව ඇය රෝහල් ගත කිරීමට ද අසල්වාසීන් කටයුතු කළා. තංගල්ල රෝහලින් මාතර මහා රෝහලට පිටත් කරන ඇය සිය සැමියා සමඟ පවසන්නේ ජයන්ත භූමිතෙල් දමා තමාට ගිනි තැබූ බවයි. පොලිසියට ඇයගෙන් කට උත්තරයක් ගැනීමට අවස්ථාව උදා වුණා. එහිදී ඇය පැවසුවේ ජයන්ත භූමිතෙල් දමා සිරුරට ගිනි තැබූ බවයි.
එලෙස කතාබහේ යෙදුන ඇගේ තත්ත්වය පැවතියේ බෙහවින් අසාධ්යවයි. ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවන්නේ ඒ නිසායි. අනතුරුව ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතක්ෂයට පත් වන්නේ අනියම් ඇසුරේ ඇති විපත්තිභාවය මොනවට පෙන්වා දෙමිනුයි.
ඇගේ දේහය පිළිබඳ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සිරුරට භූමිතෙල් වත් කොට ගිනි තැබීම නිසා සිදුවූ මරණයක් බවයි. ඇගේ පුත්‍රයා පොලිසියට පවසා තිබුණේ ජයන්ත මාමා ප්ලාස්ටික් බෝතලයේ තිබුණ ලාම්පු තෙල් මවගේ ඇඟට දමා ගිනි පෙට්ටිය ගෙන කූරක් ගසා මවගේ ඇඟට දැමූ බවයි.
එදා මොහු අත්අඩංගුවට ගැනීම එතරම් අපහසු වූයේ නැහැ. පොලිසිය යන විට ඔහු නිවසේ සිටි අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
මාස කිහිපයකින් මොහුට ඇප නියම වූ අතර ගෙවී ගිය වසර දහ අටක කාලය මොහු සිය දරු පවුල සමඟ ගෙවා දැමුවේ කිසිම වරදක් නොකළ අයෙකු ලෙසයි.
දූ දරුවන් උස් මහත් වුනා. දීග ගියා. එක් පුතෙක් ඉංජීනේරු පීඨයට තේරී පත් වූයේ මොහුගේ වියහියදමින් පාසල් අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගිය නිසායි.
මොහු අධිකරණය මඟ හැරියේ ද නැහැ. සෑම නඩු වාරයකටම පෙනී සිටි මොහුට ගිය වසර 18 දී වරෙන්තු නිකුත් වූයේ නැහැ. එලෙස විනයගරුක නීතිගරුක පුද්ගලයෙකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටියත් කර තිබූ වරද ලෙහෙසි පහසු එකක් වූයේ නැහැ. එබැවින් මොහුට මරණ දඬුවම නියම වුණා.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article