ශ්‍රී පාද වන්දනා නඩ ලියාපදිංචිය අනිවාර්යයි
Tuesday, 29 December 2020 - 9:12 | Views - 470

සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වනවා.
ඒ අනුව චාරිත්‍රානුකූලව පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන්දෙව් ප්‍රතිමාව සහ දේවාභරණ ඊයේ (28) සිරිපා මළුව වෙත පෙරහරින් වැඩම කරවනු ලැබුවා.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික් කොවිඞ් මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි මාසය තුළ සිරිපා වන්දනාවේ පැමිණිමෙන් වළකින ලෙසයි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙවර සිරිපා වන්දනා සමයේදී බැතිමතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ දක්වා තිබෙනවා.
ඒ අනුව සිරිපා වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී එහි සහතිකයේ පිටපතක් රැගෙන ආ යුතුයි.
එමෙන්ම, ශ්‍රීපාදස්ථාන ගමන් මාර්ගයේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු අතර අම්බලම්, විශ්‍රාම ශාලා ආශ්‍රිත ප්‍රදේශවල යාචකයින් විසින් සිඟමන් යැදීම හෝ සිඟමන් ලබාදීම් සිදුනොකළ යුතු බවද අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙනවා.
එමෙන්ම, සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන් හි මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් කර තිබෙනවා.
මේ අතර, නව වසරේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණෙන විට ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව දළඳා මාලිගාවේ පාලන අංශය සඳහන් කළා.
Share This Article