ගංජා ඔත්තුවට කිපී කකුල කපා අරන් ගිය සැකකරු පොලිසිය හමුවේ සියල්ල වමාරයි
Monday, 28 December 2020 - 10:39 | Views - 341

ගංජා රැගෙන එන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන්නේ යැයි සැකකොට වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ අත්පා කඩුවලින් කපා ඔහුගේ එක් පාදයක කොටසක් රැගෙන පලාගොස් දින කිහිපයක් තිස්සේ සැඟව සිටි ප්‍රධාන සැකකරු ඉකුත්දා කුරුවිට පොලිසියට භාර විය.
ඔහු මෙලෙස පොලිසියට භාර වී ඇත්තේ ඔහු විසින්ම කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයාට දුන් දුරකථන ඇමතුමකින් පසුව බව ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
මත්කුඩු අතැතිව පුද්ගලයකු කුරුවිට බස් නැවතුම අසල රැඳී සිටින බව ඔහු විසින්ම පොලිසියට දුන් දුරකථන ඇමතුමට අනුව බස් නැවතුම අසලට ගිය පොලිස් කණ්ඩායම මොහු කොටුකරගෙන තිබිණි.
පොලිසිය පවසන්නේ අල්ලා ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 2ක් තිබූ බවය.
මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුනන්ද නමැති අයකුට තවත් පුද්ගලයකු සමඟ පැමිණ මෙසේ කඩුවලින් පහරදී ඔහුගේ පාදයේ කොටසක් සිරුරෙන් වෙන්කරගෙන රැගෙන ගිය බව කියන මෙම සැකකරු කොටුකර ගැනීමට වේයන්ගොඩ පොලිසිය හා බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් දියත් කර තිබිණි.
ඒ අතරතුර මෙම සැකකරු කුරුවිට පොලිස් බල ප්‍රදේශයට ගොස් පොලිසියට දුරකථන ඇමතුමක් දී අත්අඩංගුවට පත්වීම සෙසු පොලිස් නිලධාරීන්ගේ සැකයකටද භාජන විණි.
පසුව මේ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කිරීමෙන් පසු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කුරුවිට පොලිසියට ගොස් සැකකරු භාරගෙන පෑලියගොඩ පිහිටි එම ඒකකයට ගෙන එන ලදී.
එහිදී කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියාව හෙළිවූ අතර ඔහු සමඟ එම පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා කවුදැයි යන්නද මේ වනවිට හඳුනා ගෙන ඇත.
ඉකුත් 19 වැනිදා මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලකට සිය පුතු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණි සුනන්ද ජයලත් නමැත්තාට මෙම සැකකරුවන් දෙදෙනා කඩුවලින් පහරදී ඔහුගේ අත්පා කපා දමා පලාගොස් තිබිණි. ඒ යන අතරතුර සුනන්දගේ සිරුරෙන් වෙන්වෙන ලෙස කපන ලද ඔහුගේ පාදයක කොටසක්ද මෙම සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි.
බරපතළ තත්ත්වයෙන් පසු වූ සුනන්ද නමැත්තා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළද ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූයෙන් ඔහු කොළඹ ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබිණි.
සුනන්දගේ පාද දෙකටම කඩු පහරවලින් බරපතළ තුවාල සිදුවී තිබිණි. එක් පාදයක දණහිසෙන් පහළ කොටසද අනෙක් පාදයේ ඇඟිලි සහිත පතුල් කොටසද කැපී වෙන්වී තිබිණි.
සිද්ධිය සැලවීමත් සමඟ වේයන්ගොඩ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළද සැකකරු ඒ වනවිටත් ගම අතහැර පලාගොස් තිබිණි.
පසුව මේ සම්බන්ධ විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද යෙදවීමට පොලිස් බලධාරීන් කටයුතු කරන ලදී. එහෙත් එම කණ්ඩායමටද සැකකරුවන් සොයා ගැනීමට නොහැකි විණි. ප්‍රධාන සැකකරු කුරුවිට පොලිසියට භාර වී ඇත්තේ එම අවස්ථාවේදීය.
ප්‍රධාන සැකකරු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි ඕ.කේ.ටී. නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති, පොලිස් පරීක්ෂකවරුන් වන අජිත් සේනානායක හා පතිරාජසූරිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පවත්වති.
මව්බිම
කීර්ති මෙන්ඩිස්
Share This Article