කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්
Wednesday, 23 December 2020 - 12:49 | Views - 755

පසුගිය දිනවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කෙරෙනවා.
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 428 දෙනාගෙන් 101 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.
පෙරේදා දිනයේදී ද කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 101ක් පමණයි.
කෙසේ වෙතත්, පසුගිය දිනවලට සාපේක්ෂව රට තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවේ ද අඩුවීමක් ගත වූ දින දෙක තුළ පෙන්නුම් කෙරෙනවා.
පසුගිය 19 වනදා පී.සී.ආර්. පරීක්ෂණ 15,961 ක් සහ 20 වනදා මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 17,233 ක් සිදුකර තිබෙනවා.
එහෙත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කරන දෛනික නිවේදනයේ දැක්වුණේ පෙරේදා දිනයේදී පී.සී.ආර්. පරික්ෂණ 13,860 ක් සහ ඊයේ දිනය තුළ පරික්ෂණ 11,672 ක් සිදුකර ඇති බවයි.
රෝගීන් අඩුවෙන් වාර්තා වීමට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව බලපා ඇත්ද යන්න සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අද දිනය තුළ ජනතාවට නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.
මාස කිහිපයකට පසු ඊයේ දිනයේ කළුතර දිස්ත්‍රික්කයෙන් යළිත් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 193ක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 42 නෙකු වාර්තා වී ඇති බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ කොරෝනා පොකුරෙන් වාර්තා වූ 34,377ක් වන ආසාදිතයන්ගෙන් 25,000කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, පානදුර - හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දැමීමට පියවර ගත්තා. පානදුර මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොරමුදලි සඳහන් කළේ එහි සේවකයින් 80 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මේ අතර, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තාගේ කොරෝනා ඖෂධ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික ප්‍රසාද් හෙන්දාවිතාරණ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ පැණිය පිළිබද සායනික වාර්තා පිළිබඳ දැනුවත් කිරීමක් කළ යුතු බවයි.
මේ අතර, කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් ලබාදෙන ලෙෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කරනවා. ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය විසි හතරක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි සිටි විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
ගුවන් යානා 12 කින් මෙම පිරිස පැමිණ ඇති අතර, තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටව ගිය බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරිවරිය ප්‍රකාශ කළේ. එසේම ශ්‍රී ලංකාවට එංගලන්තයේ සිට පැමිණි අවසන් ගුවන් යානය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට ඊයේ දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර, එහි ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු සිට තිබෙනවා.
Share This Article