මෙරට කොරෝනා ආසාදිතයින් 38,000 ඉක්මවයි
Wednesday, 23 December 2020 - 8:10 | Views - 334

තවත් කොරෝනා මරණ 02ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගියා.
මියගිය එක් අයෙකු අවුරුදු 15ක් වයසැති පිරිමි දරුවෙක්.
ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලට මාරු කර කෙරුණු අතර එහිදී මෙම දරුවා මියගොස් ඇත්තේ ඊයේ දිනයේයි.
කොවිඞ් නියුමෝනියා තත්ත්වය, ලේ විෂවී සහ උග්‍ර වූ ලියුකේමියා තත්ත්වය මරණයට හේතු වී තිබෙනවා.
එමෙන්ම කොළඹ 7 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක් වයසැති කාන්තාවක් පසුගිය 20 වනදා නිවසේදී මියගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් නියුමෝනියා තත්ත්වයයි.
මේ අතර ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 428 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 38,000 ඉක්මවා තිබෙනවා. එය දැක්වෙන්නේ 38,059ක් ලෙසටයි.
අවසන් වරට වාර්තාවූ ආසාදිතයන්ගෙන් 392කු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර බන්ධනාගාර පොකුරෙන් 35 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි එක් අයෙකු කොරෝනා රෝගීන් බවට හඳුනා ගැණුනා.
තවදුරටත් ආසාදිතයින් 8576ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 29,300ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 15,684ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8,111 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිත 2,524 ක් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
එමෙන්ම කොළඹ මහ නගර සීමාවට අයත් මහල් නිවාස සංකීර්ණ කිහිපයක් තවදුරටත් හුදකලා කර තිබෙනවා.
එලෙස හුදකලා කර ඇති ලක් සඳ නිවාස සංකීර්ණයේ ජීවත් වන ජනතාව ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරතවූයේ තමන් කඩිනමින් හුදකලා බවින් ඉවත් කරන ලෙසට රජයට බල කරමින්.
මේ අතර කොරෝනා ආසාදිතයෙකු වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටියදී වැලිකන්ද නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.
මොහු නාරොහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම රෝගියා නැවතත් වැලිකන්ද රෝහලට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අවදානමක් නොමැති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා නිල නිවේදනයක් නිකුත් කළද උපකාරක පන්ති ආරම්භ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය හෙළා දැක තිබෙනවා.
ලක්ෂ තුනකට අධික ගුරුවරුන් මෙන්ම ලක්ෂ තිහකට අධික දරු පරපුරද මෙමඟින් අසාධාරණයට ලක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර විරු අභිමන් කොවිඞ් 19 රක්ෂණාවරණයේ දෙවන අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත විසින් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වා තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙම රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කරනු ලැබුවා.
කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු රාජ්‍ය අංශයේ නිලධාරීන් මෙම රක්ෂණ ක්‍රමයෙන් ආවරණය සැපයෙනවා.
දෙවන අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයින් මෙම රක්ෂණාවරණය සඳහා දායක කරගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කොවිඩ් 19 නිසා ජීවිතය අහිමිවීමකදී විරු අභිමන් රක්ෂණාවරණයෙන් රුපියල් ලක්ෂයක් ප්රදානය කෙරෙනවා. රෝහල් ගතවීමේදී ලැබෙන මුදල රුපියල් දහසක්.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90 ක උපරිමයකට යටත්ව රුපියල් 2,000 ක දීමනාවක් මෙමඟින් පිරිනැමෙනවා.
මේ අතර ඉදිරියේදී කොළඹ ජාතික රෝහල තුළිනුත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි පෞද්ගලික ආයතනයක් විසින් කොළඹ ජාතික රෝහල වෙත ඊයේ පී.සී.ආර්. යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා.
Share This Article