පිළියන්දලදී, අවුරුදු 4ක දරුවෙකුටත් පියාටත් ජීවිත අහිමි කරමින්, මවක් රෝහලට යැවූ යතුරුපැදි මාරක අනතුර
Tuesday, 22 December 2020 - 10:05 | Views - 1,248

සිවු හැවිරිදි එකම දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යමින් සිටි අඹු -සැමි යුවළක් රැගත් යතුරුපැදියක් ඊයේ (21) පිළියන්දල ජාලියගොඩදී අනතුරකට ලක්වීමෙන් දරුවා සහ පියා මියගිය බව පිළියන්දල පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ මිරිහානේ, සාලාව පාරේ පදිංචිව සිටි ප්‍රදීප් උදය කුමාර (32) හා ඔහුගේ පුතු වන සදෙව් අබිරාශ්ය (අවුරුදු 4).
අඹු-සැමි යුවළ කුඩා දරුවා සමඟ පිළියන්දල දම්පේ ප්‍රදේශයේ නිවෙසක තාවකාලිකව නැවතී සිටින අතර ඊයේ උදේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමු කර ඔවුන් දෙදෙනා රැකියාවට යෑම සඳහා කොළඹ දෙසට යමින් සිටියදී මෙම අනතුර වී ඇති බවයි වාර්තා වන්නේ.
හොරණ - කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ මංතීරු දෙක වෙන් කිරීම සඳහා යොදා තිබෙන මැද දූපතේ තබා තිබූ විශාල මල් පෝච්චියක යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන්ධන ටැංකිය මත සිටි දරුවාගේ පාදයක් යතුරුපැදියේ හැඬලය සහ ඉන්ධන ටැංකිය අතර සිරවී මෙම අනතුර සිදු වී ඇති බවට සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවසුවා.
අනතුරින් යතුරුපැදිය දෙකට වෙන් වී ඇති අතර තුවාල ලද මව කොතලාවල ආරක්ෂක පීඨය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මව්බිම
Share This Article