හොඳින් ඉන්නවා. අපි ඉන්නේ වසංගත තත්ත්වයක වුණාට ඕස්ට්‍රේලියාවේ ඒ තත්ත්වය සාර්ථකව පාලනය කර තියෙනවා. වයිරසය ව්‍යාප්ත වන කාලෙදිත් අපේ ව්‍යාපාර කටයුතුවලට ඕස්ට්‍රේලියානු රජයෙන් සලසා දුන් සහන නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. වැඩකටයුතු ඔන්ලයින් කරන අතරේ මගේ සංගීත කටයුතු වලටත් කාලය වෙන් කරන්න ලැබුණා.
කාලෙකට පස්සෙ ගීත දෙකක්ම රසිකයන් අතරට ගෙනාවේ ඒ ලැබුණු විවේකය අතර වෙන්න ඇති ?
ඔව්. අවුරුදු දෙකකට පස්සෙ ‘වින්දනය‘ සහ ‘මේ ඉවුරේ‘ යන ගීත දෙක රිලීස් කළා. මේ දවස්වල තවත් ගීත දෙකක් පටිගත කරමින් යනවා. ඒ ගීත ජනවාරි මාසෙ වගේ අහන්න ලැබෙයි. මගේ ගීත ඇල්බමයෙත් වැඩ කටයුතු කරගෙන යනවා. මේ සියල්ල අන්තර්ජාලය හරහා මගේම අයිතිය යටතේ තමයි මුදා හරින්නෙ.
අලුත් නිර්මාණ රසිකයන් වැලඳ ගත්තද?
මම හිතපු තරම් ඒ ගීත ජනතාව අතරට ගියෙ නැහැ. ඒ ගැන කනගාටුවක් නැහැ. මම හිතනවා දිගින් දිගටම ගීත නිර්මාණ කරද්දි ඒ ගීත රසිකයන් අතරට යයි කියලා.
අපි ඔබව හඳුනන්නේ ගායකයෙක් විදිහට. නමුත් ඔබ දැන් වෙනත් වෘත්තියකයි නියැළෙන්නේ ?
මම වරලත් ගණකාධිකාරිවරයෙක්. ඒක මගේ වෘත්තිය. දැන් මේ දෙකම සමබර කරගෙන යනවා. මම එක දෙයකට රාමු වෙන්න කැමැති නැහැ. මගේ වෘත්තියෙන් මට අවශ්‍ය තැන්වලට ළඟා වෙන්න හැකියාව ලැබුණා. මම ගත යුතු තීරණ හරිම වෙලාවේ ගත්තා. ඒ තීරණවල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගියත් හරිම ප්‍රතිඵල මට ලැබිලා තියෙනවා.
ජනප්‍රියත්වයේ හිණි පෙත්තෙම හිටපු කාලේක ලංකාවෙන් යන්න තීරණය කළේ ඇයි?
ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. මගේ ගීත රසවිඳපු රසික පිරිස ගැන මට විශ්වාසයක් තිබුණා. කාලෙකට පස්සෙ ගීතයක් කළත් එය රසිකයෝ වැලඳ ගනියි කියලා. ඒ ලැබුණු ජනප්‍රියත්වය නිසා මගේ ගමන නවත්ත ගන්නෙ නැතිව ලෝකයේ වෙන දේවල් දැනගන්න මට ඕන වුණා. උසස්පෙළ කරලා, මම ඕස්ට්‍රේලියාවට එන්න ඕනේ කියලා හිතුවා. 2008 දී මම ඕස්ට්‍රේලියාවට ආවා. දැන් සතුටින් මෙහෙ ජීවත් වෙනවා.
ඔය කිව්වට මලිත්ට ඕස්ට්‍රේලියාවට යන්න තව හේතුවකුත් තිබුණා නේද?
ඒ කාලේ මගේ පෙම්වතිය ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. ඒකත් මම මෙහෙට එන්න හේතුවක් වුණා. හැබැයි දැන් ඒ සම්බන්ධය නැහැ.
ආයෙත් මලිත් පෙම්වතෙක් බව කියන්න අකැමැති නැතිව ඇති ?
ඔව් මම පෙම්වතෙක් විදිහට මේ මොහොතේ ආදරය විඳිනවා. පෙම්වතිය ශ්‍රී ලාංකේය කෙනෙක්. හැබැයි දැන් ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ.
පෙම්වතිය ජීවන සහකාරිය කරගන්න දැන්ම අදහසක් නැද්ද?
ඇය ඉගෙනීම් කටයුතු අවසන් කළා විතරයි. ටික කාලයක් ආශ්‍රය කරලා ඒ පියවරට යන්න තව කල් තියෙනවා.
ඉස්සර තරම් මලිත්ට රසික ප්‍රතිචාර ලැබෙනවාද ?
සමාජ මාධ්‍ය නොතිබුණා නම් මලිත් පෙරේරාව අමතක වෙලා යන්නත් තිබ්බා. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඒ රසික ආදරය නොඅඩුව ලැබෙනවා. ඒ නිසා ලංකාවෙන් පිට හිටියත් මට ඒ ආදරයෙ අඩුවක් දැනෙන්නෙ නැහැ.
හඳුනගන්න බැරි තරමට මලිත්ගේ පෙනුම වෙනස් වග කියන්නේ නැද්ද කවුරුත් ?
ඒක ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම මගේ ඔළුවට ගහපු දෙයක්. මම ඕස්ට්‍රේලියාවට ආවේ අවුරුදු 18 දී. කාය වර්ධනයට තිබ්බ ආසාවට වැඩිපුර යොමු වුණේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. එහෙමයි මේ පෙනුම හදා ගත්තේ.
ඕස්ට්‍රේලියාවෙම ජීවත් වෙනවට පවුලේ අයගෙන් අකමැත්තක් නැද්ද ?
මගේ තාත්තා මං කැමැති දේ කරන්න නිදහස දීලා තියෙනවා. ඉතින් මට බල කිරීම් නැහැ. මම තනියම මගේ ජීවිතේ ගොඩනඟා ගන්න විදිහ දැකලා එයාලා සතුටු වෙනවා.
දැන්ම ලංකාවට එන්න අදහසක්ම නැද්ද?
දැන් මගේ ව්‍යාපාර කටයුතු වුණත් ඔන්ලයින් කරන්න පුළුවන් නිසා ලංකාවට ඇවිත් ටික කාලයක් ඉඳලා සංගීත කටයුතුවලටත් කාලය වෙන් කරන බලාපොරොත්තුවක ඉන්නවා. ඒ වගේම ලංකාවට ඇවිත් ව්‍යාපාරයකට ආයෝජනය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත ආපු ගමන් ලංකාවේ රවුමක් ගහලා යන්න එනවා.
තිළිණි කෞශල්‍යා
සිළුමිණ - රසඳුන



