හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවම මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. කතාවට අනුව එම නිවසේ ජීවත්වන ළමයින් අතරින් පවුලේ වැඩිමහල් දියණියට පණපොවන්නියයි.
ඔබේ නම දැනගන්නට කැමැතියි?
මම යොහානි හෙට්ටිආරච්චි.
එතකොට සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ ඔබේ චරිතය?
සකුනි.
බොහොම පොඩි වයසේදී තමයි ඔබ රඟපාන්න එන්නේ, එහෙම නේද?
ඔව්. මම මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීමක. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති.
ඊට පසුව ඔබ තරමක් රංගනයෙන් ඈත් වුණා?
අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක තමයි එහෙම වුණේ. නමුත් මම ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. ළමා නිවේදිකාවක් විදිහට අවුරුදු ගණනාවක් මම වැඩ කටයුතු කළා.
යොහානි ළමා චරිතවලින් මඳක් මිදුණේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයෙන් කියලා කිව්වොත්?
ඔව් ඒක හරි. ඒකෙත් මම කරන්නේ ළමා චරිතයක් වුණාට ළමා සහ මුල් යොවුන් විය අතර ගෙවෙන චරිතයක්.
වයසත් එක්ක මම දිගටම ළමා චරිත තමයි මෙතුවක් කල් රංගනයෙන් දායක වුණේ. සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ සකුනි. මට මේ සඳහා ආරාධනා කළේ, රන්ජන් ප්‍රසන්න මහත්මයා මේ වෙලාවේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය අධ්යක්ෂ නිවන්ත ප්‍රසාර, චාමර ජයවීර සහ නාට්‍ය රචනා කරන චාලක රණසූරිය කියන මහත්වරුන් මතක් කරන්න ඕනේ.
සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය රඟපාද්දී ඔබ ඇතුළු ළමයින් පිරිස හොරෙන් චොකලට් කාපු කතන්දරයක් මට ආරංචි වුණා?
ඒක වුණේ එක දවසක් චොකලට් එවන සීන් එකක් තිබුණා. ඒක වෙනුවෙන් චොකලට් ගොඩක් ගෙනත් තිබුණා නාට්‍යයේ ආර්ට් ඩිපාර්න්මන්ට් එකෙන්. අපි කළේ ඒ ටික ඔක්කොම හොරෙන් කාපු එක. මොකද ඒවා දිහා බල බල නිකම් ඉන්නත් බැහැනේ. අන්තිමේ අවශ්‍ය වෙලාවට චොකලට් නැතිවෙලා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට බැනුම් අහන්නත් වුණා.
දැන් ඔබට දිගින් දිගටම යොවුන් චරිත සඳහා ආරාධනා ලැබෙයි?
ඔව් එහෙම හිතනවා. මේ වන විට පෞද්ගලිකව සාමාන්‍ය පෙළ හදාරනවා. ඒ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ගමන් රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නයි මං අපේක්ෂා කරන්නේ.
යොහානිගෙ පාසල මතක් කළොත්?
කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය.
උපන් දිනය?
2004 මාර්තු 17.
ඔබේ පදිංචිය කොහෙද?
මම කොළඹම තමයි.
මංජුල පෙරේරා
