රජයේ වෛද්‍යවරුන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්
Thursday, 17 December 2020 - 13:43 | Views - 414

ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් ඉදිරියේදී යළිත් දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
මේ අතර, මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 616 දෙනා අතුරින් වැඩිම සංඛ්‍යාවක් වූ ආසාදිතයින් 266 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව, බොරැල්ලෙන් ආසාදිතයින් 65 ක් මට්ටක්කුලියෙන් ආසාදිතයින් 62 ක් සහ කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 94 ක්.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 31,070 ක්.
ඔවුන්ගෙන් 22,244 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.
එසේම, සියඹලාන්ඩුව නගරයේ වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත්තේ නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයින් තුන් දෙනෙකු හමුවීමත් සමඟයි.
එසේම, බේරුවල නගරයෙන්ද ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ගතවූ කාලය තුළ බේරුවලින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 279 ක්.
අද පෙරවරු හයේ සිට ක්‍රියාත්මක වන පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා.
ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරෙයිපත්තු 03, අක්කරෙයිපත්තු 14 සහ නගර බල ප්‍රදේශ අංක 03 මෙලෙස හුදෙකලා කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
එමෙන්ම, අඞ්ඩාලච්චේනයි පොලිස් බල ප්‍රදේශයේ පාලමුනෙයි 01, ඔලුවිල් 02 සහ අඞ්ඩාලච්චේනයි අට ප්‍රදේශ මෙන්ම ආලයඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශයේ ආලයඩිවෙම්බු අංක අටෙන් එක, අටෙන් තුන සහ 09 යන ප්‍රදේශ මෙලෙස අද පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා.
මේ අතර, කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබාදිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.
මේ අතර, කොරෝනා ආසාදිතයින්ට ලබාදිය හැකි ඖෂධයක් තමන් විසින්ද නිෂ්පාදනය කළ බව ආයූර්වේද වෛද්‍යවරයෙකු බව කියන හලාවත - මුගුණුවටවන පදිංචි ඩබ්ලිව්.සේලින් කුරේරා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ ඒ බව තහවුරු කිරීමට තමන්ට කොරෝනා රෝගීන් අතර රැඳී සිටීමට වූවද සූදානම් බවයි.
Share This Article