ඇල්ල පාලම බලන්න ආ තරුණියගේ මාලය කොල්ලකාලා
Thursday, 17 December 2020 - 9:19 | Views - 473

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය පැළඳ සිටි රන් මාලය පැහැරගත් බවට සැකපිට යුධ හමුදා සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මගින් ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ල, හල්පෙ පට්ටියකුඹුර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 37වන පුද්ගලයෙකු වන අතර ඔහු යුධ හමුදා බුද්ධි අංශයේ සේවය කරන අයෙකු බව පැවසේ.
ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට සිය පෙම්වතාද සමඟ පැමිණ සිටි දියතලාව ප්රදේශයේ පදිංචි 19හැවිරිදි තරුණියක් බියගන්වා ඇගේ ගෙල පැළඳි රුපියල් 22000ක් පමණ වටිනා රන් මාලයක් සැකකරු විසින් පැහැරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්ෂණික වැටලීමක් සිදුකළ ඇල්ල පොලීසිය ආරුක්කු නවය පාලමට යාබද පයිනස් වගාව තුළ සැඟව සිටි සැකකරු අදාළ රන් මාලයද සමග අත් අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලරත්න මහතා ඇතුළු නිළධාරීන් පොලිස් බුද්ධි අංශ නිළධාරීන්ගේද සහායෙන් අදාළ වැටලීම සිදුකර ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
Share This Article