අනියම් පෙමට පිටු පෑ පාසල් ගුරුවරියව, කැබ්රියක හප්පා මරන්න හැදූ කුලී රථ රියදුරෙකු පොලිසිය හමුවේ කියූ කතාව
Wednesday, 16 December 2020 - 15:27 | Views - 51,518

අනියම් පෙමට පිටුපෑ තම අනියම් බිරිය වන ගුරුවරියක කැබ් රථයක හප්පා මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ රථ වාහන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කුලී රථ රියැදුරෙකු අද (16) දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළා.
සැකකරු අද දින පදවිය සංචාරක මහේස්ත්රාත් අධිකරණයේදී තමා හමුවට යළි ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්රාත්වරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා.
මෙසේ රිමාන්ඩ් ගත කළේ පදවිය බී යාය අංක 285 ලිපිනයේ පදිංචි ආර්. එම්. බිමල් කසුන් නම් කුලී රථ රියදුරෙක්.
බී වාර්තාවක් මඟින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සැරයන් ධම්මික මහතා සඳහන් කළේ සැකකරු වසර පහක පමණ කාලයක් පාසල් ගුරුවරියක සමඟ අනියම් පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනා පදවිය මූලික රෝහලේත් තවත් තැනැත්තියක් වව්නියාව රෝහලේත් නේවාසිකව ප්රතිකාර ලබන බවද අධිකරණයට දැනුම් දුන් සැරයන්වරයා අපරාධය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකරු රිමාන්ඩ් කරන ලෙස අයැද සිටියා.
සැකකරු අධිකරණය ඉදිරිපත් කළේ මිනීමැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම, සුළු තුවාල සිදු කිරීම, සාක්ෂි වසං කිරීම, තුවාල කරුවන් රෝහලට රැගෙන නොයාම හා අපරික්ෂාකාරි රිය ධාවනය යන චෝදනා යටතේයි.
අපරාධය සඳහා යොදා ගත් කැබ් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
උපාල් ආනන්ද
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
Share This Article