මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 36ක් අත්අඩංගුවට
Wednesday, 16 December 2020 - 15:15 | Views - 290

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රා 5ක් සමග ඉන්දීය ජාතිකයන් 36ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොරෝනා වෛරසයේ බලපෑම් හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා සීමාවී තිබුණා.
කෙසේවෙතත් අඛණ්ඩව විදෙස් ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හමුවේ දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණ සහිතවයි විදෙස් ධීවර යාත්‍රා මුහුදු සීමා උල්ලංඝණය කර සිදුකරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නැවත ආරම්භ කෙරුණේ.
ඒ අනුව උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ්ට් දුපත ආසන්න මුහුදු සීමාවේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය යාත්‍රා 3ක් සමග ඉන්දීය ජාතිකයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේත් වයඹ නාවික විධානය මගින් කුදිරමලේ තුඩුවට බරහිර මුහුදේදීත් සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ජාතිකයන් 14ක් සහ යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම් සිදුකළ බවයි නාවික හමුදාව කියාසිටියේ.
සැකකාර ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා සම්බන්ධ විමර්ශණ සිදුකෙරෙමින් පවතින අතර ඔවුන් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.
Share This Article