මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙය ජනතා අයිතියට පත් කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23 ක ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ව්‍යාපෘතිය ආරම්භ වුයේ පසුගිය අප්‍රේල් 21 වනදායි.
කොවිඞ් -19 පළමු රැල්ල පැතිර යන අවස්ථාවේ විවිධ බාධක මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස අටක පමණ ඉතා කෙටි කාලයක් තුළ නිමා කිරීමට හැකි වී ඇති අතර, එහි යල-මහ කන්න දෙකම වගාකිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් තිබීම විශේෂත්වයක්.
ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති අතර, එහි මුළු පිරිවැය රුපියල් මිලියන 390 ක්.
එමෙන්ම, කිලෝමීටර් 1.5 ක දිගින් යුත් ඇවිදීමේ මංතීරුවක් සහ පාපැදි මංතීරු දෙකක්, මෙන්ම ළමා උද්‍යානයක්, මෙයට අයත් වනවා. අංග 08 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක් මෙම ව්‍යාපාතියට ඇතුළත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

