වෛරසයේ පාලනය අපහසුයි, උත්සව සමය අවදානම් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි
Tuesday, 15 December 2020 - 13:27 | Views - 571

කොරෝනා වෛරස ව්‍යාප්තිය තවදුරටත් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ආකාරයට පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මේ නිසා එළැඹෙන උත්සව සමයේදී වගකීමෙන් කටයුතු නොකළහොත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවටද එහි සභාපති උපුල් රෝහණ අනතුරු අඟවා සිටියා.
මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 688 දෙනා අතරින් 200 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.
ඒ අතර වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ආසාදිතයින් 58 දෙනෙකුද සිටින අතර, මට්ටක්කුලියෙන් ආසාදිතයින් 38 දෙනෙකු සහ අවිස්සාවේල්ලෙන් ආසාදිතයින් 17 දෙනෙකුද ඒ අතර වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 117 ක් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 113 ක්.
ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයෙන් 55 ක්, ගාල්ලෙන් 48 ක්, නුවරඑලියෙන් 38 ක් සහ අම්පාරෙන් 28 ක් වශයෙන් කොරෝනා ආසාදිතයින් ඊයේ හඳුනාගෙන තිබෙනවා.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24,309 ක්.
තවදුරටත් ආසාදිතයින් 9,015 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන කොරෝනා එන්නතක් මෙරටට ලැබීමෙන් අනතුරුව ඉලක්කගත කණ්ඩායම්වලට පළමුවෙන් එන්නත ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 3,212 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, නව ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 784 ක්, මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 754 ක් සහ මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 588 දෙනෙකු මේ දක්වා වාර්තා වී තිබෙනවා.
බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් අතරින් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,011 ක්.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ අනු පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමෙන් ලබන වසරේදී කොරෝනා අවදානම අවම කරගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කියා සිටියේ.
Share This Article